Thursday, June 29, 2017

කසිප්පු සහ කුඩු...

ඉන්දීය ඡායාරූප ශිල්පී අරුන් ටයිටන්ගේ ‘මයි පීපල්‘ ඡායාරූප එකතුවෙන්


අපේ පන්තියේ හිටපු ළමයින්ගෙන් ගොඩක් අය හැදුණේ එයාලාගේ මාපියන් ළඟ නෙවෙයි. නෑදෑ ගෙවල්වල හරි සීයලා අම්මලා ළඟ හරි තමයි එයාලා හැදුණේ. ඇත්තටම මගේ කතාවත් ඒ වගේම තමයි. අපේ පන්තියේ හිටපු දක්ෂම ළමයා කියලා පිළිගත්ත ගැහැණු ළමයාගේ නම් අම්මා නිතර ඉස්කෝලේ ආවා. ටීචර්ලාට තෑගි ගෙනල්ලා දුන්නා. අපි ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ ඒ ළමයා දක්ෂම ළමයා වෙන්නේ ඒ හින්දා කියලා. අපි කොච්චර හොඳට වැඩ කළත් පන්තියේ තැන ලැබුණේ අර ළමයාටම තමයි. එයාට මේ සටහන ඇතුලේ කුමුදු කියලා මම නමක් දෙනවා. එයාගේ ඇත්ත නම ලියන්න බැරි හින්දා. අනික තරඟවලට ඉස්කෝලේ වෙනුවෙන් යැව්වේත් කුමුදුවම තමයි. මොකද ලංකාවේ මොන කෙළවරේ තියෙන තරඟයකට වුණත් කුමුදුව එක්කාගෙන යන්න එයාගේ අම්මාට පුළුවන්. අපව තරඟයකට තෝරාගත්තත් අපට යන්න විදියක් නෑ. ඒ නිසා ගොඩක් අය ඒවා මඟහැරියා. කුමුදුට අවස්ථාව ලැබුණා. 

කුමුදුලාගේ අම්මා අපේ පිළිකුලට ලක්වුණ කෙනෙක්. කුමුදු හැමදාම අම්මාට අපේ වැරදි කියනවා. අම්මා ඉස්කෝලේ එන වෙලාවට ගුරුවරු එක්ක ඒවා කියනවා. 

මෙහෙම මාපියන් ළඟ නැති යෙහෙළියක් හිටියා. මේ සටහනේ එයාට මම දෙන නම ගංගා. පුංචිම කාලේ ගංගා හිටියේ අම්මා ළඟ. ගංගාගේ අම්මා ඉස්කෝලේ ඉස්සරහා ගේට්ටුව ළඟ අඹ විකිණුවා. ඒත් අපි තුන වසරේ ඉන්නකොට එකපාරම ඒ නැන්දා අඹ විකුණන එක නැවැත්වුවා. පන්තියේ ටීචර් කිව්වා ඒ නැන්දාව ඉස්පිරිතාලයේ නැවැත්වුවා කියලා. ඊටපස්සේ දවසක් අපි හැමෝම ඒ නැන්දාගේ මළගෙදර එක්කාගෙන ගියා. ගංගාට තව නංගියෙකුයි මල්ලියෙකුයි හිටියා. එයාගේ ගෙවල් ළඟ හිටපු අපේ පන්තියේ පිරිමි ළමයෙක් කීවේ ගංගාගේ තාත්තා කුඩු කේස් එකකට ඇතුලට ගිහින් කියලා. ඇතුලට ගිහින් කියන්නේ හිරගත වෙලා. කුඩු කේස් එකකට කියන්නේ බොහෝවිට කුඩු පාවිච්චි කරලා අහුවෙලා. ලොකු කුඩු බිස්නස් කාරයන්ගේ ළමයි අපේ ඉස්කෝලවලට එන්නේ නැහැ. ඒ බිස්නස්කාරයෝ හිරේ යන්නෙත් නැහැ. හිරේ ගියත් ඒ ළමයි අපේ ඉස්කෝලේ වගේ ඉස්කෝලවලට එන්නේ නැහැ. හිරේ යන්නේ අපේ පන්තිවල ඉන්න ළමයින්ගේ තාත්තලා අම්මලා. කුඩු ගහන අය. නැත්නම් කුඩු බිස්නස් ජාලයේ අන්තිම පුරුක් ටිකේ ඉන්න පුංචි බිස්නස් කරන අය.
මම කියමින් හිටියේ ගංගා ගැන. අම්මා නැතිවුණාම ගංගා තනිවුණා. ඇයව ලොකු අම්මාගේ ගෙදරට යැව්වා. ඉන්පස්සේ ගංගා පන්තියේ දරුණුම ළමයෙක් වුණා. අපි එක්ක හිටපු හොඳ යෙහෙළියක් වෙච්ච ගංගා කේලම් කියන්නියක් වුණා. නිතර අපි එක්ක රණ්ඩුවුණා. අවුරුදු ගාණක් යද්දී ගංගා අපෙන් ඈත් වුණා. ආපහු අපි එක්ක ඇගේ මිතුදමක් හැදුනේ දහයේදී විතර. ඔය කාලේ මාත් තව යෙහෙලියෝ තුන්දෙනෙකුත් ඉස්කෝලේ එනගමන් ගංගා හිටපු එයාගේ ලොකු අම්මාගේ ගෙදරට ගියා. ගංගා එක්කම ඉස්කෝලේ යන්න. අපි යද්දී සුදුගවුම ඇඳගත්ත එයා සුදුපාට කෑන්වලින් මොකක්හරි දියරයක් තව බේසමකට වක්කරමින් ඇය හිටියා. අපි බලාගෙන ඉන්න අතරේ ඒ බේසමට ඇය තව දියරයක් එකතු කළා. මේ දෙක කලවම් කරලා බීලා බැලුවා. අපි කවුරුවත් ඒ මොනවද කියලා දැනගෙන හිටියේ නැහැ. ඇගේ විශ්වාසයට ලක්වුණ මාත් එක්ක ගංගා පස්සේ වෙලාවක රහසින් කිව්වේ ඇය කසිප්පු හදමිනුයි හිටියේ කියලා. ඇය හැමදාම උදේ ඉස්කෝලේ එන්නේ කසිප්පු කවලම් කරලා. 

අපි ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු ගණනාවක් යනතුරු ගංගා ගැන ආරංචියක් ලැබුනේ නැහැ. පස්සේ ආරංචිවුනේ දැන් ඇයට ළමයි තුන්දෙනෙක් ඉන්න බව. එකම එක සතුටක් තිබුණා. ඇය නැන්දාගේ කසිප්පු රස්සාව වෙනුව අම්මාගේ අඹ රස්සාව තෝරාගෙන තිබුණා.

( 2017 - 07- 02 රාවය පුවත්පතේ පළවූ ලිපියක පළමු කොටස..... )

5 comments:

  1. කොහෙද අප්පේ මේ ඉස්කෝලේ

    ReplyDelete
    Replies
    1. තංගල්ලේ .....ඇයි අවුල්ද ?

      Delete
  2. දුක හිතෙන කතාවක්..

    ReplyDelete
  3. Very sad stoty, My condolance here. We must destoy drugs and ilegal alcohol productions. All small people have trubals. big people no.

    ReplyDelete