Monday, June 19, 2017

අපේ පන්තිවල හිටපු ගොඩක් අයට සුද්දිට වගේ කියන්න දේවල් ඇති.









සුද්දි.        විසිඅට චිත්‍රපටියේ සුද්දි තමයි කේන්ද්‍රීය චරිතය. සුද්දි කියන්නේ මිනියක්. ඇය තමන්ගේ මරණයට හේතුවුණ ඉතිහාසය චිත්‍රපටියේදී වරින් වර කියනවා. ඇය එකොළහේදී විද්‍යාව පොතේ ප්‍රජනනය පාඩම තිබුණු බව කියනවා. එහෙත් ප්‍රජනනය පාඩම තවමත් ඇයට උගන්වලා නැහැ. වැඩියෙන්ම සෙක්ස් සර්ච් කරන ලංකාවේ අපි ඉන්නේ පුදුමාකාර ලිංගික කුතුහලයකින්. සුද්දිගේ කතාවත් එක්ක මටත් මතක් වෙන දේවල් ගොඩක් තියෙනවා. මම හිටියේ කොළඹ පොඩි මිශ්‍ර පාසැලක්. ලංකාවේ නරකම මිනිසුන් බිහි කරනවා කියන්නේ ඒ වගේ පාසැල්වලින්. පාතාලය, වතු සමාජය බිහි කරනවා කියන්නේ ඒ වගේ පාසැල්වලින්.



නවයේ පන්තියේ හිටියා පිරිමි ළමයෙක්. හමාස් නිලාම්. ටිකක් නිහඬ කෙනෙක්. අහිංසක ළමයෙක්. යාළුවෝ හිටියේ නැහැ. එයාව එකොළහේ දොළහේ අයියලා ටොයිලට් එකට එක්කාගෙන ගියා. පිරිමි ළමයි හැමෝම එයාට නංගි කියලයි කතාකළේ. ඉතින් අපිත් ඒ ළමයට නංගි කිව්වා. ඇයි එහෙම කියන්නේ කියලා අපට තේරුණෙ නෑ. එයා අයියලාට විරුද්ධ වෙන්න ගියෙත් නැහැ. මුලින් විරුද්ධ වෙන්න ගත්ත උත්සාහයන් වලදි එයාට ගුටි කන්න වුණා. අපි සංක්‍රාන්ති ලිංගිකත්වය ගැන දශමයක්වත් දැන හිටියේ නැහැ. එයා දැනගෙන ඉන්නත් නැතිව ඇති. අපේ ගුරුවරු දැනගෙන හිටියේත් නැහැ. ගුරුවරුත් බැන්නේ හමාස්ටමයි. පිරිමියෙක් වගේ ඉන්නේ නැහැ කියලා.  


සචිනි කියන්නෙ අට වසරේදී මගේ එහා පන්තියේ හිටපු ගැහැණු ළමයෙක්. එයා ලස්සනයි. එයා පිටිපස්සේ කොල්ලෝ ගොඩක් ආවා. පොඩි කොල්ලෝ නෙවෙයි, අංකල්ලා. ත්‍රීවීල්, බයික් තියෙන අය. දවසක් සචිනිව ඉස්කෝලේ එන්නේ නැතිව කාමරයක ඉඳලා පොලීසියෙන් අල්ලාගෙන ඉස්කෝලෙට ගෙනාවා. ඇය ගෙනා හැටි මට දැන් සිහිවෙන්නේ මලීනා චිත්‍රපටියේ මලීනාව පාපතර ගෑණියෙක් විදියට පාරේ අරගෙන ගිය විදියටමයි. සචිනි හිටියේ බාගෙට ඇඳගත්ත ඇඳුම් පිටින්. ප්‍රින්සිපල්ට පොලීසියෙන් බැන්නා. ළමයාව අරගෙන ගියා. සතියකට විතර පස්සේ ඒ ළමයා ඉස්කෝලේ ආවා.

 ඒත් ඇයව ඉස්කෝලෙන් අස්කළා. පස්සේ ආයේ වතාවක් ඒ ගෑණු ළමයා කාමරයකට ගිහිල්ලා අල්ලගෙන කියලා ආරංචි ආවා. එයාට ගෙවල්වල ඉන්නත් බැරි තත්වයක් ඇවිල්ලා තිබුණා. මම දැනගෙන හිටපු විදියට ඒ ළමයා ඉගෙනුමට ටිකක් දක්ෂ ළමයෙක්. ඒත් එයාට ඉස්කෝලේ යන්න බැරි තත්වයක් ආවා


. ආයේ ඇයව මම දැක්කේ දහයේදී. අපි කර්මාන්තශාලාවක් බලන්න ගිය වෙලාවක ඒකේ කම්කරු රැකියාවක් කරමින් ඇය හිටියේ. අපි හිටපු සමාජයේ ලිංගික ආකර්ශනය ගන්න සංකේතය තමයි කොටට අඳින හිර සාය කියන්නේ. අවුරුදු පහළොවේ කෙල්ලෙක් වෙච්ච සචිනි හිටියේ එහෙම සායක් ඇඳගෙන. පපුව උස්සලා හිරකරලා ටී ෂර්ට් එකක් ඇඳගෙන. පන්තියේ හිටපු පිරිමි ළමයි කිව්වෙ එයා තමයි පැත්තෙ හිටපු අළුත්ම බඩුව කියලා. සචිනිව එදා ඉස්කෝලේ ගෙනාපු වෙලාවේ ඇයට නොලැබුණේ මොකක්ද. ඇය පාසැලෙන් එලවන්නට තරම් වැරැද්ද වුණේ එයාගෙ නොදැනුවත්කමද.


අපේ ඉස්කෝලේ හිටියේ තමන්ගෙ ලිංගික කුතුහලය පිට කරගන්න උත්සාහ කරන වැඩිහිටි ළමයි ටිකක්. පන්තියේ ගැහැණු ළමයි කිහිපදෙනෙක්ම ගෙවල්වලින් පැනලා ගිහින් පවුල් ජීවිත පටන්ගන්න උත්සාහ කරලා තිබුණා. පන්තියේ පරිසරය හැදුණේත් මේ කුතුහලය වැඩි කරන විදිය. ගුරුවරු නිතර බෑග් චෙක් කළා. පොත්වල පිටු පෙරළුවා. කවියක් පොතක ලිව්වොත් දඬුවම්. චොකලට් එකක් තිබුණොත් දැඩි විනය පියවර. පොතක අන්තිම පිටුවේ ආදර ගීතයක වචන ලියා තිබීමේ වරදට මටත් වරක් දඬුවම් ලැබුණා. අවුරුදු පහළොවේදී අපට ආදරය ගැන ඇතිවුනේ කුතුහලයක්. ඒක තහනම් කිරීම නිසා කුතුහලය වැඩි වුණා. අපට තහනම් පනවන්න මිසක් කළයුතු නොකළයුතු දේ ගැන කියන්න කවුරුත් හිටියේ නැහැ. එදා අපේ පන්තියේ හිටපු ගැහැණු ළමයි විස්සෙන් හතරදෙනෙක්ම අවුරුදු දාසය වෙද්දී ගෙදරින් පැනලා ගිහින් තිබුනේ තහනම් කරපු ආදරය හොයාගෙන.


ඔය කාලේ තමයි ප්‍රීති ඇඩ් ටීවි එකේ ගියේ. මම ගෙදරින් ප්‍රීති කියන්නේ මොකක්ද කියලා ඇහුවම මට ලැබුණෙ ගුටි. අන්තිමේ කුතුහලය වැඩිකමට අපි කිහිපදෙනෙක් දහම්පාසැලේ ටීචගෙන් මේ ගැන ඇහුවා. එයා රතුවුණා. අපව එළවාගත්තා. ඒ තමයි අපට ලැබුනු අත්දැකීම. එදා දහම්පාසැලේ හිටපු ගෑණු ළමයින්ගෙන් එක්කෙනෙක් ජීවිතේ පහළොස්වැනි අවුරුද්ද ඉවර කළේ ළමා ගැබිනියක් විදියට. තව කෙනෙක් අවුරුදු දහඅට වෙද්දී ගැබිණියක් වුණා.


අපේ පන්තිවල හිටපු ගොඩක් අයට සුද්දිට වගේ කියන්න දේවල් ඇති. විසිඅට බලද්දී මට හිතුණෙ එහෙම. 












10 comments:

  1. සමාජයේ සම්මුති නැවත සලකා බලන්න මිනිසුන්ට ඇස් ඇරේවා.

    ReplyDelete
  2. Bohoma Wadagath Kathikawathakata Apiwa Yomukarawana Lipiyak.

    ReplyDelete
  3. වටිනා ලියවිල්ලක්. මිනිසුන්ගේ ඇස් පෑදේවා

    ReplyDelete
  4. අපේ අයටත් කියන්න දේවල් හුගක් ඇති

    ReplyDelete
  5. හොඳ චිත්‍රපටයකින් විය යුත්තේ මෙයයි

    ReplyDelete
  6. I was in school in the 80s, situation was same. However society was much better, bad people were minority, majority try to help school kids. There were no drugs, hotel rooms and 3 wheeler like today. If someone doing bad things people talk about it, become public knowledge. There was man hanging around outside the school known as dirty old man, we as kids use to avoid him

    ReplyDelete
  7. අදයි කියලා ලොකු වෙනසක් තියෙනවද දන්නේ නැහැ අපි O/L කරණ කාලෙදිත් (1992) ප්‍රජනනය පාඩම ස්කොලෙදි ඉගැන්නුවේ නැහැ, internet smart phone නොතිබුනු ඒ යුගයේ අපිත් දැනුම හොයාගෙන ගියේ, සොදුර, සීදේවි, වින්දන වගේ පත්තර
    කොල්ලන් අතරේ හුවමාරු කරගෙන,මගින්. දැනුමකට ව්ඩා උනේ ලිංගික හැගුම් කුපිත කිරිමක් .

    ඒ දවස් වල නන්දදාස් කෝදාගොඩ මහතා විසින් පාසල් වල පවත්වපු ප්‍රජනන සෞක්‍ය වැඩසටහන (විඩියෝඇතුලත්ව) තුලින් තමයි නිවැරදි දැනුමක් ලැබුනේ, වැඩ සටහන අවසානයේ Q & A සැසියෙදිත් සුද්දිලාට අහන්න ප්‍රශ්න තිබුනත් මුහුනවල් රතු කරගෙන හිටියා.

    ඒ දිනවල කොල්ලන්ට තිබුනු දැවෙන ප්‍රශ්නයක් තමයි ස්වයංවින්දනයේ යෙදුනාම කෙට්ටු වෙනවාද කියන එක ( අර කලින් කියපු පත්තර කියවලා ආවේගයන් මොචනයේ යෙදුනු ක්‍රමය)

    නන්ද්දාස මහතාට ඔය ප්‍රශ්නයට දුන්න උත්තරය තමයි, බලන්න මගේ දිහා මම කෙට්ටුද , තවදුරටත් ඒ ගැන පැහැදිලි කරමින් එතුම කිව්වේ , බලන්න බත් කන එක උනත අපි උපරිමව කන්නේ දවසට තුන්සැරයක් කන එක උනත් නිතරම පැයෙන් පැයට කරන්න ගියෙත් මොකද වෙන්නේ ඒ වගේ ඕනැම දෙඋයක් ඕනවාට වඩා ඔනා නැත කියලා

    ReplyDelete
  8. අනේ මන්දා, මම නම් ඉගෙන ගත්තෙ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසැලක. අපිට කුතුහලය තිබ්බත් මේ වගේ පීඩාකාරී කිසිම දෙයක් වුණේ නෑ. බෑග්නම් ඉතින් චෙක් කරනවනෙ, ඒවා ඇතුලෙ කවුද හොර බඩු තියන්නෙ ? හොර බඩු තියන්න වෙනම තැන් තියෙනවනෙ. අපිට ප්‍රජනනය පාඩමත් හොඳින් ඉගැන්නුවා. අපේ ලොකු සිද්ධි විධියට තිබුණෙ ඔය Science day, Commerce day, Maths day, debates වගේ ඒවට කාන්තා පාසැල්වලින් ආරාධනා එනකොට, අරාධනා නැති එවුන් හොරෙන් ගිහින් මාට්ටුවීම, බිග් මැච් කාලෙට කාන්තා පාසැල්වලට පැනල මාට්ටුවීම, ඉස්කෝලෙ තාප්පෙන් පනින්න ගිහින් ප්‍රිෆෙක්ට්ලට අහුවෙච්චා, බිග් මැච් දවස්වල බීල අහු වෙච්චා, වෙන ඉතින් ... ආ එක එක කාලෙට වෙනත් ඉස්කෝල එක්ක වලි දා ගන්නවනෙ, එහෙම කරල ගුටි කාපුවා වගේ දේවල්. දැන් නම් ඒවා සුන්දර මතකයන්.

    ReplyDelete