Thursday, December 8, 2016

අදෝ අන්ද පරවෙයි පෝල වාල වේන්ඩුම්! අර පරවියන් වගෙ අපිටත් පියාඹන්න පුලුවන් නම්!


 
අවුරුදු දාසයේ ජයලලිතා රජු එක්ක....  ‘අදෝ අන්ද පරවෙයි පෝල වාල වේන්ඩුම්‘



සියල්ලටම පෙර මේ ගීතය ඇසිය යුතුයි.... ඇයටත් ඔහුටත් වන්දනාමාන කරන්න හේතුවුණේ මේ අසීමිත රසයයි..... ඇයට දේශපාලනය තුළ සාර්ථකත්වයේ රහසක් තිබුණේ නැහැ. ඒක තිබුණේ මෙතැන. ජයලලිතා කියන්නේ ඩ්‍රාම එකක්. සිනමාවක්. 

පසුගිය සතියේ ලෝකයේම කතාබහට ලක්වුණේ කියුබාව නම් ලංකාවටත් වඩා පුංචි රටේ පාලකයා ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය. මේ සතියේ කලාපයේම පමණක් නොව ලෝකයේත් කතාබහට ලක්වෙන්නේ ලංකාවට සහ කියුබාවට වඩා විශාල ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස තමිල්නාඩුවේ ගෞරවය පාත්‍ර වූ ජයලලිතා ජයරාම්ගේ මරණය ගැනයි.

පසුගිය සතියේ පුවත්පත්වල පිටු පිරුණේ කස්ත්‍රෝගේ ගුණ වැයීම් වලින්. එහෙත් බොහෝවිට ජයලලිතා ජයරාම්ගේ ගුණවැයීම් වලට සිංහල පුවත්පත්වල ඉඩකඩ නොලැබෙනු ඇති. ඒ වෙනුවට ඇය පසුපස යන අන්ධභක්තික ජනතාව ගැන ලියනු ඇති. ඒවා කියවා තමිල්නාඩුවේ ඉන්නේ මෝඩ මිනිස්සුයැයි සිතා අපේ මිනිසුන් ආඩම්බරයට පත්වෙනු ඇති.

එහෙත් ජයලලිතා ජයරාම් මහ ඇමතිධූරය දැරූ තමිල් නාඩු හෙවත් දෙමළ රට යන නාමය දැරූ ෆෙඩරල් ප්‍රාන්තය මුළු ලංකාවටම වඩා විශාල බුද්ධිමය ශ්‍රම වෙළඳපොලක් සහිත එකක් බව කිසිවෙක් තේරුම් නොගන්නා යමක්. පරිගණක ක්ෂේත්‍රයේ සේවා සපයන විශාල ශ්‍රම වෙළඳපොලක් තමිල්නාඩුවට තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ලංකාවට ළඟා වෙන්නටවත් බැරි තරමේ විශාල සිනමා කර්මාන්තයක් තමිල්නාඩුවේ ඇති බව කිසිවෙකුට තැකීමක් නැතිවේවි. විශාල ආර්ථිකයක් මෙහෙයවූ මහ ඇමතිනියක් වූ ජයලලිතා අම්මා ලෙසින් වන්දනීය ගෞරවයක් ලබන්නට බාල ප්‍රචාරණ උපක්‍රම පමණක් ප්‍රමාණවත් නොවන බව තේරුම් ගතයුතුයි.


ලංකාවේ කිසිවෙක්ව වන්දනා කරන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ලංකාවෙත් වන්දනාමාන කෙරෙනවා. යාලාට අම්මා ඉන්නොට අපට අප්පච්චි ඉන්නවා.

ඇගේ කතාව

ඇගේ උපතේ සිට විපත දක්වා සියළු විස්තර පුවත්පත් වල වාර්තාවේවි. රූපවාහිනියේ කතාබහට ලක්වේවි. අන්තර්ජාලයේ හුවමාරු වේවි. 

ජයලලිතා ඉපදුණේ ලංකාවට නිදහස ලැබුණු 1948දී. කර්ණාටක ප්‍රාන්තයේ ඉපදුණු ඇයව චෙන්නායි නගරයට ගෙනැවිත් චෙන්නායිහි ප්‍රධාන පාසැලකට සම්බන්ධ කරවන්නේ දෙමාපියන් විසින්. ඒ අවුරුදු දහයේදී. ඉන්පසුව ඇය නර්තනය ඉගෙනගත්තා. ඇය පාසැලේදී කළ නර්තනයක් දකින්නේ එම්ජී රාමචන්ද්‍රන්ට පෙර සිනමාවේ වීරයා සිවාජි ගනේෂන් විසින්. ඔහු ජයලලිතාට කියන්නේ සිනමාවට සම්බන්ධ වෙන්න කියලයි. ඒ අනුව ඇය සිනමාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු දාසයේදී.

එම්ජීආර් සහ ජයලලිතා මුණගැසුණේ ඇයට අවුරුදු 16ක් සහ ඔහුට අවුරුදු 42ක්ව තිබියදීයි. 1965දී ආයිරත්තිල් ඔරුවන් චිත්‍රපටියේයි මේ දෙදෙනා මුලින් එක්ව රංගනයක යෙදෙන්නේ. මේ දෙදෙනා එකට කළ චිත්‍රපටි ගණන 28ක්. විවිධ භාෂාවලින් තැනුනු චිත්‍රපටි 140ක පමණ රඟපෑ ජයලලිතා ඉන්දියාවේ ධනවත්ම දේශපාලඥයෙක්.
ඇය ප්‍රථමයෙන් මහඇමති ධූරයට පත්වෙන්නේ 1991දීයි ඇයට අවුරුදු 45දී. ඒ දකුණු ඉන්දියාවේ ළාබලතම මහඇමති විදියට. ඉන්පසුව 1996දී මැතිවරණයෙන් පරාදවුණු ඇය නැවතත් 2001දී බලයට පත්වෙනවා. මෙලෙස පස් වතාවක් මහඇමති ධූරයට පත්වුණු ඇගේ දේශපාලන ගමන්මඟත් සිනමාව මෙන්ම අතිශය නාට්‍යරූපී එකක්. ඇය දේශපාලනය තුළ සිනමා පිටපත් ලියනවා.

ඇය දේශපාලනයේ රඟපාන්නට පටන්ගන්නේ 1987දී එම්ජීආර්ගේ මරණයත් සමඟමයි. එම්ජීආර් මියගිය පසුව පක්ෂයේ නායකත්වයත් වැඩබලන මහඇමති ධූරයත් නිල වශයෙන් හිමිවුණේ ඔහුගේ බිරිඳ වී.එන්. ජානකී හටයි. පක්ෂය යා යුතුව තිබුණේ ඇය අතටයි. 

ජයලලිතාගේ සමකාමී සහකාරිය යැයි සැලකෙන සසිකලා සමඟ
එහෙත් රාමචන්ද්‍රන්ගේ අවසාන කටයුතු වලදීම ජයලලිතා සිය සටන ආරම්භ කළා. ඔහුගේ අවසන් කටයුතු රූපවාහනියෙන් පෙන්වද්දී ඇය එක්වරම ඇදවැටු‍ණේ පක්ෂයේ පිරිසක් ඇයට පහරදුන් බව පෙන්වමින්. එතැන සිටි බොහෝ දෙනෙක් ඇයට පහරදෙනු දැක තිබුණා. බිම වැටුණු ඇයට එම්ජීආර්ගේ මළගෙදරදී එම්ජීආර්ට ලැබුණඅ අවධානයම ලැබුණා. ඉන්පසුව පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඇය සටන් ආරම්භ කළා. පක්ෂය දෙකට කැඩුණත් අවසානයේ ජයලලිතා පාර්ශ්වයට පක්ෂයේ අයිතිය ලැබුණා. 

එම්ජීආර්ගේ අනුප්‍රාප්තිකයා හෙවත් උරුමක්කාරයා ලෙස සැබෑ ජීවිතයේ එම්ජීආර්ගේ බිරිඳව නොව සිනමා ලෝකයේදී එම්ජීආර්ගේ පෙම්වතිය ජයලලිතාව තමිල්නාඩුව ජනතාව විශ්වාස කළා.  

ඒ වනවිට ඉන්දියානු පාර්ලිමේන්තුවේ උත්තර සභාවේ සිටි ඇය 1989 ප්‍රාන්ත මැතිවරණයේදී මහඇමති ධූරයට තරඟ කළා. එයින් පරාජය වුණු ඇය ප්‍රාන්ත විපක්ෂනායක බවට පත්වුණා. ඉන්පසුව 1991 මැතිවරණයේදීයි ප්‍රථම වරට මහඇමති ධූරයට ඇය පත්වුණේ.

ජයලලිතා ඩීඑම්කේ පක්ෂයේ එකම මුහුණ බවට පත්වුණා. ඇගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ස්වාධීන අදහස් දැක්වීම් නොකළ තරම්. ඇය අම්මා යන්න තමන්ව සංකේතවත් කරන වෙළඳ නාමයක් බවට පත්කරගත්තා. ඒ වෙළඳ නාමය ඇගේ නාට්‍යරූපී දේශපාලන ලෝකය ශක්තිමත් කළා. ඇය තමා වටේ ගොඩනැඟූ ශක්තිමත් ප්‍රචාරක ව්‍යාපෘතිවලින් ඇයව වන්දනීය තැනකට ගෙනාවා.

කිහිපවතාවක්ම අධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා ලැබුවත් ඇය යහතින් හිටියා. 2001දී ඇය මහඇමති ධූරයට පත්වීම පවා අධිකරණය විසින් අභියෝගයට ලක්කලේ ඇයට අපරාධ චෝදනා ඇති නිසයි. ඉන්පසුව පසුගිය වසරේ ඇයව අධිකරණයෙන් වැරදිකරු බවට පත්වුණත් එයිනුදු ඇයව නවත්වන්නට හැකිවුණේ නැහැ. 

මහඇමති ලෙසින් ඇය බොහෝ විට උත්සාහ කළේ දිළිඳු ජනතාවගේ ආකර්ශණය හිමිවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ඇය සිනමාවේ වන්දනයට ලක්වූ නිසාම දේශපාලනයේ වන්දනයට ලක්වුණේ නැහැ. දේශපාලනය තුළත් ඇය ශූර ලෙස කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් මිනිසුන්ගේ වන්දනාමානයට පත් වූ තවත් කෙනෙක් තමිල්නාඩුව හැර යාවි. එම්ජීආර් හැරගියා සේම. එහෙත් තමිල්නාඩුවට වීරයන්ගෙන් අඩුවක් නැති වේවි. රැජිණිකාන්ත්, අජිත් කුමාර් වන් වීරයන් සමුගෙන යද්දී ඒ අඩුව පුරවන්නට විජේ වන් වීරයන් ඉන්නවා. ඔවුන්ගෙන් පසුව ධනුෂ්, සිම්බු වැනි වීරයන් බිහිවෙමින් තියෙනවා. ඉතින් තමිල්නාඩු දේශපාලනයටත් අලුත් වීරයෙක් බිහිවේවි. දැන් තමිල්නාඩුව ඉන්නේ දේශපාලනයේ අන්තර් වීර කාලසීමාවක කියා හිතමු. කෙසේවෙතත් ලංකාවේ වගේම තමිල්නාඩුවෙත් දේශපාලනය තුල වීරයෙක්ට බිහිවිය හැකි පසුබිමක් නෙවෙයි තියෙන්නේ. දේශපාලනය යනු දූෂිත රැකියාවක් බවට පත්වෙලා. ඉතින් නැවත තමිල්නාඩුවට වීරයෙක් පායනවානම් ඒ තමිල්නාඩු ජනතාවගේ වන්දනයට පාත්‍රවන සිනමා වීරයෙක් හෝ ක්‍රිකට් වීරයෙක් විය යුතුමයි. එම්ජීආර් සහ ජයලලිතා වගේම. දේශපාලනය සම්බන්ධයේ ගත්තාම ලංකාවත් ඉන්නේ එවන් තැනක. කෙසේවෙතත් ලංකාවට සිනමාවෙන් නම් වීරයන් ගේන්න බැහැ. ජයලලිතාගේ කතාව ආසියානු දේශපාලනයේම කතාවක් වේවි. කොතරම් චෝදනා තිබුණත් හැකි තරම් හොඳින් රඟපාන්න.

6 comments:

  1. /* කෙසේවෙතත් ලංකාවට සිනමාවෙන් නම් වීරයන් ගේන්න බැහැ. */

    විජය කුමාරතුංග වීරයෙක්. හැබැයි දේශපාලනයට ඇවිත් ටික කලකට පස්සේ ඉඳලා.

    ReplyDelete
  2. /* දැන් තමිල්නාඩුව ඉන්නේ දේශපාලනයේ අන්තර් වීර කාලසීමාවක කියා හිතමු. */

    අන්තර් වීර නොව නිර්වීර හෝ වීරයින් අතරතුර විය යුතුයි.

    ReplyDelete
  3. විජය, අර්ජුන, ගාමිණී, රංජන් වගේ වීරයෝ ආවත් පවතින්න බැරි වුණා

    ReplyDelete
  4. අපේ දේශපාලනයේ දෑතින් පපුවට ගහගන්න ජාතියේ වීරයෝ, ගෑනුන්ගේ නිරුවත් දැක්කාම මඩුවලිගෙන් ගහන්න ඕන කියලා ගැලරි ටෝක් දෙන වීරයෝ ඕන තරම්

    ReplyDelete