Friday, November 11, 2016

අපුරු ඉස්කෝලේ




මාළිගාවත්ත කියන්නේ ඉලෙක්ට්‍රොනික් දූවිලි පිරුණු පැත්තක්. කාෂ්ඨක අව්වට හෙවණක් දෙන්නේ පාර අයිනේ තියෙන කිසිම සිසිලක් නැති ගස්. විශාල කෝප්පයක් වගේ මාළිගාවත්තේ හැම ජීවිතයකටම එහා පැත්තෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ තියෙනවා. 



දැවැන්ත විදුලි කණු තියෙනවා. මාළිගාවත්ත මුළු ලෝකයම බලන තැනක්. හැබැයි මාළිගාවත්ත මැද්දේ විශාල කෝප්පයක් වගේ තියලා තියෙන විශාල ඇරීනාවෙන් ඇතුල් සුන්දර වර්ණවත් කොටස පමණයි ලෝකය දකින්නේ. එයින් එළියේ සිටින කර්කශ මිනිස් අහින ඒ කැමරාවලට අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ගත් හැටි මතක තිබුණත්,  මහේල ජයවර්ධනගේ තාක්ෂණයෙන් පිරුණ ශතකයන් වගේම මායාකාරී උඩපන්දු මතක තිබුණත්, මාලිංග කෙන්යාවෙනුත් ඕස්ට්‍රේලියාවෙනුත් ගත් කඩුලු ත්‍රිත්ව දෙකක් මතක තිබුණත්, ලංකාවේ එක්දින ක්‍රිකට් ලෙගසිය ගොඩනැඟුනු හැටි මතක තිබුණත් මාළිගාවත්තේ ජීවිත ගැන ලෝකයේ කවුරුත් දන්නේ නැහැ


මේ කෝප්පයට එහාපැත්තෙන් පන්සලක් තියෙනවා. ඛෙත්තාරාම විහාරස්ථානය. මාළිගාවත්ත කියන්නේ බෞද්ධ පීඩිතයන් විතරක් ඉන්න තැනක් නෙවෙයි. හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ හැමෝම එකිනෙකා මිශ්‍ර වෙමින් මේ කෝප්පය වටේ ඉන්නවා. ඉතින් මේ පන්සලට ඔය හැම ආගමේම පිරිස් ඇවිත් යනවා. ඒ පන්සලේ අපූරු තැනක් තියෙනවා. පුංචි කාලයේ මා ආ ගිය ඒ තැන හොයාගෙනයි මම ලොකු කෝප්පය ළඟට ගියේ.



ඛෙත්තාරාම සාක්ෂරතා පාසල. මම හෙව්වේ ආර්. ප්‍රේමදාස ලොකු කෝප්පය ලඟ පුංචි තැනක්. මම කුඩා කාලයේ එතැනට ආ හැටි මතකයේ තිබුණා. මාලිගාවත්තේ ජීවිතය ගෙවුණු කාලයේ මේ පන්සලට නිතර අපි ආවා. මගේ සහෝදරියක් මෙතැන ඉගැන්වුව නිසා ඉස්කෝලේ ඉඳගෙන ඉන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. 
පරණ මතකයෙන් ඉස්කෝලෙට ගිය මාව ඉතිරි වී තිබුණු පැරණි මුහුණු විසින් පිළිගත්තේ මතකයන් අවුස්සමින්. එහෙත් කුතුහලය තිබුණේ එදා තිබුණු පාසල තාමත් ති‍‍යෙනවාද කියලයි. පණ්ඩිත වෙළඳගොඩ යසස්සි ලොකු හාමුදුරුවෝ කුතුහලය සංසි‍ඳෙව්වේ පාසැල තාමත් ති‍යෙන බව තහවුරු කරමිනුයි.


අපූරු ඉස්කෝලෙ


කොච්චර අවිධිමත් වුණත් මේකත් ඉස්කෝලයක්. මෙතැන ඉගැන්වූ සහෝදරිය හැමදාම ආවේ ඉස්කෝලේ යනවා කියන හැඟීමෙන්. 
දුයිෂෙන් ඉගැන්වුවේ ළමයින් කීදෙනෙක්ටද? ඉතින් ඒකත් ඉස්කෝලයක්. අල්තීනායි විතරක් ඉදිරියට ගියත් ඒකත් ඉස්කෝලයක්. මාලිගාවත්ත පන්සලේ මේ ඉස්කෝලය පටන්ගත් දුයිෂෙන් කවුද? මම හොයන්න ගත්තා.


පාසල පටන්ගෙන තිබුණේ එවකට පන්සලේ නායක හාමුදුරුවන් බවට පත්ව නොසිටි වෙළඳගොඩ යසස්සි හිමියන් විසින්. වත්මන් නායක හාමුදුරුවන් විසින්. එහිමියන්ගේ අරමුණත් දුයිෂෙන්ට තිබුණු අරමුණම තමයි. පාසල් නොයන දරුවන්ව පන්සලට ගෙන්වාගෙන නොමිලේ උගන්වන පුංචි වැඩක් විදියටයි පාසල පටන්ගත්තේ. 
විවිධ හේතු නිසා ළමයින්ට අධ්‍යාපන අවස්ථා මඟහැරෙනවා. පාසැලකට ඇතුල් කර නොගැනීම. පාසල් ගාස්තු ගෙවන්න බැරි වීම.  පාසැලකට යොමු කරන්න භාරකාරයෙක් නොසිටීම. කුඩු වලට ඇබ්බැහි වූ, බන්ධනාගාරගත වූ මාපියන් සිටීම. පාසැලෙන් අස් කිරීම. දරුවෙක්ට ඉගැන්විය යුතුයැයි මාපියන් නොසිතීම. මේ වගේ හේතු ලැයිස්තුවක් සකස් කරන්න පුළුවන්.

ඒ සියලු හේතු මාලිගාවත්තට සාමාන්‍යයි. ඉතින් මේ සාමාන්‍ය හේතු නිසා සාමාන්‍යෙයෙන් ගෙවල්වලට වී සිටින ළමයින්ව සොයාගෙන ගිහින් පන්සලට ගෙන්වාගෙන ඉගැන්වීම තමයි සාක්ෂරතා පාසැලේ අරමුණ. 
යසස්සි හාමුදුරුවන් පසුව ගුරුවරු කිහිපදෙනෙක්ව යොදාගෙන මේ සාක්ෂරතා පාසැල ටිකක් දියුණු කළා. පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආධාරත් මේ ඉස්කෝලෙට ලැබී තිබුණා.


මගේ මතකයන්


ළමයි පුංචි ප්‍රමාණයක් ස්වෙච්ඡා ගුරුවරුන් සමඟ දඟ කරමින් ඉගෙනගත්ත මේ පාසැල ගැන මට තිබුණු මතකයත් ටොංටෝ චංට අපූරු ඉස්කෝලෙ ගැන තිබුණු පාසැලත් අල්තීනායිට දුයිෂෙන්ගේ පාසැල ගැන තිබුණු මතකයත් වගේමයි.

අපි ඉස්කෝලෙට ආ ගිය කාලය වෙද්දී ඉස්කෝලේ ගුරුවරු කිහිපදෙනෙක්ම හිටියා. ළමයින් වයස අනුව නෙවෙයි, දැනුම මට්ටම අනුව පන්තිවලට බෙදලා තිබුණා. අවුරුදු පහළොවක ළමයෙක් වුණත් ඉගෙනගන්න බැරිනම් එක වසරේ පන්තියක ඉඳගත්තා. අවුරුදු හතක ළමයෙක් වුණත් හතර වසරේ ඉඳගෙන ඉන්න ඉඩ තිබුණා.


විවේක කාලය හරිම විනෝදයි. විශාල ඉස්කෝලවල ගුරුවරු වගේ ගුරු කාමරයට වෙලා ඉන්න ගුරුවරු නෙවෙයි මේ අපූරු ඉස්කෝලයේ හිටියේ. ගුරුවරු ළමයින් එක්ක විවේක කාලයේදී සෙල්ලම් කළා. හැබැයි හාමුදුරුවන් ඒකට කැමති නැහැ. හාමුදුරුවෝ එනකොට ගුරුවරු හැංගෙනවා. ළමයි දඟවැඩ කරන ගුරුවරුන්ව හාමුදුරුවන්ගෙන් බේරගන්නවා.


ඉන්ටවල් එකෙන් පස්සේ අපව දාගැබ පැත්තට අරගෙන යනවා. දාගැබ හුළං වදින විවෘත පරිසරයක්. එතැන ඉඳගෙන කතන්දර අහන්න. කතන්දර පොත් කියවන්න. කතාබහ කරන්න අවස්ථාවක් ලැබෙනවා. පුංචි ගෙවල් අස්සේ දෙමාපියන්ගේ ගැටුම් වලට මැදිවෙච්ච ළමයින් ළමාකාලය වින්දේ මේ දාගැබ වටේ ඉඳගෙන. දැන් හැකිළිලා තියෙන සාක්ෂරතා පාසැලේ මේ සම්ප්‍රදායන් එහෙමම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දරුවන් අඩු වීමත් ඒ කාලයේ හිටපු ඇතැම් ගුරුවරුන් දැන් නොසිටීමත් නිසා ඇතැම් දේවල් වෙනස් වෙලා. එහෙත් ඉතිරි වී සිටින එකම ගුරුවරිය වන පී.වී. අනුරුද්ධිකා මහත්මිය හැකි උපරිමයෙන් පාසැල පවත්වාගෙන යන්න දායකත්වය දෙනවා.



අනුරුද්ධිකා ටීචර්

ඇය ගුරුවරියක්. ස්වෙච්ඡාවෙන් විශාල සේවයක් කරන ගුරුවරියක්. ඇය අවුරුදු විසිදෙකක් තිස්සේ මෙතැන ඉන්නවා. ඒ හරි වැටුපක් නැතිව. ඇය ඉස්කෝලේ වත්මන් තත්වය ගැන විස්තර කීවා. මේ වෙද්දී ඉස්කෝලෙට එක පන්ති කාමරයක් විතරයි තියෙන්නේ. පන්සලේ ධර්ම ශාලාව තමයි පන්තිකාමරය.

‘මෙතන ළමයි විස්සක් විතර ඉගෙනගන්නවා මේ වෙද්දී. ගොඩක් ළමයි එන්නේ නැත්තේ කෑම ප්‍රශ්ණය හින්දා. ඒත් දවසක් මුජිබුර් රහුමාන් මහත්තයා ඇවිත් කෑම ප්‍රශ්ණය දැකලා දානපතියෙක් හරහා කෑම ලැබෙන්න සලස්වලා තියෙන හින්දා තමයි විස්සක්වත් එන්නේ. හැමදාම උදේට කෑම පාර්සල් විසිපහක් එවනවා. මේ ලමයින්ටයි පෙරපාසල් ළමයින්ටයි. සතියකට දවස් හතරක් මුංඇට, ඉඳිආප්ප, බත්, මඥ්ඤොක්කා වගේ උදේ කෑම එවනවා.‘
අනුරුද්ධිකා මිස් විස්තරය පටන්ගත්තේ ළමයින්ට වැඩ පවරලා උගන්වන අතරතුරේ.
‘මෙතැන මීමැස් මොරේ හැදෙන ළමයි කිහිපදෙනෙක් ඉන්නවා. සමහරු ඉස්කෝලේ ගිහින් නතර වෙලා. මෙතැන ඉන්න එක ළමයෙක් ගියේ මාලිගාවත්ත රාජසිංහ විද්‍යාලයට. ඒ ළමයා වසයි කියලා ඉස්කෝලෙන් අයින් කරලා.


මෙතැන ඉන්න ගොඩක් ළමයි ඉස්කෝලේ දාලාම නැහැ. මාපියන් කුඩු වලට ඇබ්බැහි වුණාම. මාපියන් බන්ධනාගාරගත වුණාම අසරණ වෙන ළමයි මෙතැන ඉන්නවා.‘
ස්වෙච්ඡාවෙන් පටන්ගත් ඉස්කෝලය මේ වෙද්දී අධ්‍යාපන අධීක්ෂණයටත් ලක්වෙනවා. හැබැයි ඒක ඇල්මැරුණු අධීක්ෂණයක්. නමට කෙරෙන අධීක්ෂණයක් විතරයි. ඉතින් තාමත් පාසැල ස්වෙච්ඡා තමයි. 
‘පළාත් සභාවෙන් ප්‍රතිපාදන වෙන්කරලා නොවිධිමත් ඒකකය යටතේ තමයි මේක කරන්නේ. ඒ ඒකකය භාරව හිටපු නිලධාරියාව අයින් කළාට පස්සේ මේක ගැන කවුරුත් බලන්නේ නැහැ. ඒ ඒකකයේ කවුරුත් වැඩ කරන්නෙත් නැහැ. කලින් නිල ඇඳුම් පවා දුන්නා. ඒත් මේ අවුරුද්දේ වවුචර් එක ලැබුණේ නැහැ.‘


මම මුල් කාලයේ අවුරුදු පහක් එකදිගට ස්වෙච්ඡාවෙන් වැඩකළා.  ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ස්ථීර කරලා සුළු වැටුපක් දුන්නා. ඒක ලැබෙන්නේ පිළිවෙලකට නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි වැටුප් ගෙවන්නේ. මේ අවුරුද්දේම එක වැටුපක්වත් ලැබුණේ නැහැ. ඇහුවාම යථාකාලයේදී දෙන්නම් කියලා උත්තර එවනවා.‘ ඇය තමන්ට තියෙන ගැටලු එහෙමත් විස්තර කළේ වේදනාවෙන් නෙවෙයි. ඇයට අවැසි වුණේ අප ආ ඇසිල්ලෙන් පඩි ප්‍රශ්ණෙ විසඳගන්න නෙවෙයි. මෙහෙම සිද්ධ වෙනවා කියලා කියන්න විතරයි ඇයට ඕනෑ වුණේ.

‘පඩි නැතත් මම වැඩකරනවා. මම මේ ළමයින් එක්ක වැඩකරන්නේ පඩියක් බලාගෙන නෙවෙයි. දැන් මේක මගේ ජීවිතේ කොටසක් වෙලා. මගේ පුතා නගර සභාවේ වැඩ කරනවා. මම ගෙදර මොන රාජකාරී තිබුණත් උදේට මෙතැනට දුවගෙන එනවා. මේකේ විතරක් නෙවෙයි රෑට මම වැඩිහිටි නිවාසෙක වැඩකරනවා. උදේට මෙතැන වැඩ. මම ආවේ නැත්නම් ළමයි ටික මාව හොයාගෙන ගෙදරට එනවා. එක ළමයෙක් හරි ආවේ නැත්නම් මම එයාලාව හොයාගෙන යනවා.‘


ආදි සිසුන්


‘හිතන්න බැරි තැන්වල මෙතැන ඉගෙනගත්ත ළමයි ඉන්නවා. මට සලාකා එක ළඟදී දවසක් ඇවිත් එක තරුණයෙක් කතාකළා. එයා දැන් චෙෆ් කෙනෙක්. ලොකු පඩියක් ගන්නවා. තවත් ළමයෙක්ව අපි ශිෂ්‍යත්වයට ලියෙව්වා. ඒකෙන් එයා ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන සිරස ටීවී එකෙත් වැඩකළා. තවත් ළමයෙක් මේ ඉස්කෝලෙට ඇවිත් ඉගෙනගෙන ජයන්ති විද්‍යාලයට ගියා. ඕලෙවල් ඉහළින් පාස් වෙලා ජීව විද්‍යාව කළා. දැන් එයා ප්‍රසිද්ධ කම්පැණියකට ඉහළ තනතුරක් දරනවා. අකුරක්වත් බැරිව ඉස්කෝලෙට ආපු ගොඩක් අය ඉහළ තැන්වලට ගිහින් ඉන්නවා. හැබැයි එහෙම ගිය අය කැමති නැහැ මේ ඉස්කෝලේ ඉගෙනගත්තා කියන්න.‘


‘හැම කතාවක්ම එහෙම නැහැ. දවසක් මෙතැනට ආවා තාත්තා කෙනෙක් මට කියලා ලියුමක් ලියාගන්න. එයාගේ පුතා කුඩුවලට අහුවෙලා. ඒ දරුවා මෙතැන ඉගෙනගත්ත කෙනෙක්. දැන් කුඩු විකුණනවා.‘ 
අනුරුද්ධිකා මිස් තව පැත්තක් ගැනත් කීවා.
අතරින් පතර
‘බොහෝ දෙනෙක් පාසැල් එන්නේ අතරින් පතර. ගොඩක් වෙලාවට ගෙවල්වල ප්‍රශ්ණ හින්දා ළමයි එන්නේ නැහැ. ඉස්කෝලවලට යන්න බැරිවෙන්න විවිධ හේතු තියෙනවා. සමහර අයට උප්පැන්න සහතික නැහැ. ස්ථීර පදිංචියක් නැති නිසා ඉස්කෝලේ යන්න බැරිවුණ අය ඉන්නවා.

ළමයින්ව ඉස්කෝල වලට දාන්න අපි උත්සාහ කරනවා සමහර වෙලාවට. ඒත් අපි අධ්‍යාපන කාර්යාලයෙන් ලියුම් හදාගෙන ළමයාව යැව්වාම එයාව එක්කන් යන්න භාරකාරයන් නැහැ. සමහර අයට පාසල් ගාස්තු ගෙවන්න සල්ලි ලැබෙන්නේ නැහැ. මම එකපාරක් දානපතියෙක් හරහා පාසල් ගාස්තු වලට මුදල් දීලා ළමයි තුන්දෙනෙක්ව ඉස්කෝලෙට යැව්වා. තුන්දෙනාම අවුරුද්දකට වඩා ඉස්කෝලේ ගිහින් නැහැ. ඒ අයව ගෙදර අය වෙන රස්සාවලට දාලා. සමහර අම්මලා ගෙදර මොනවහරි හදලා ඒවා විකුණන්න කියලා යවන්නේ ලමයින්ව. එක්කෝ ගෝල් ෆේස් එකට යනවනවා හවසට.  ළමයින්ට උගන්වන්න නෙවෙයි ළමයින්ව වැඩට යොදවලා කීයක්හරි හම්බකරන්න ආස අය ඉන්නේ.‘



පාසැලෙන් නික්ම යන්නට සැරසෙන මාව ළමයි හැමෝම වටකරගත්තා. කටකාරයෝ. සමහරු කතාව දෙමළ භාෂාවෙන්. එකිනෙකා කතාකරන්නේ අන්වර්ථ නාම වලින්. පළයන්, වරෙන් කියලා කතාකරනවා. පන්තියේ වැඩ කර කර ඉන්න ගමන් එකපාරම නැඟිටලා බංකුව උඩ නැඟලා දෙමළ චිත්‍රපටි සිංදු කියනවා. ගහගන්නවා. ආයේ සෙල්ලම් කරනවා. සමහරු කපටි වැඩ කරනවා. එක් ළමයෙක් ටීචර් එන්න පරක්කු වෙන දවසට ඇවිත් අද ටීච එන්නෑ හැමෝම ගෙදර යන්න කියලා හරවලා යවනවා

 එතකොට අනුරුද්ධිකා මිස් කට්ටියව හොයාගෙන ගෙවල් වලට යන්න ඕන. මොනවාහරි හේතු නිසා මෙතැනට ආ ඒ ළමයින් අනෙක් හැම ළමයෙක්ම වගේ හුරතල්. ඔවුන් කර්කශ වෙන්නේ එළියේ සමාජයෙන් ලැබෙන දේවල් නිසා. මාළිගාවත්තේ කර්කශ ජීවිතවලින් ඉහළට එසවිලා නෙළුම් මල් වගේ පිපෙන්න සාක්ෂරතා පාසැල උදව් කරනවා. සමහර විට ඇතැම් විනයගත පාසැල්වලට වඩා මේ පාසැල ඉහළින් ඉන්නවා. ළමයින්ට දෙන නිදහස නිසා. ඇත්තටම මේක හරි අපූරු ඉස්කෝලයක්. 

2 comments:

  1. ඔබගේ සටහන වැදගත් එකකි. අගනගරය පිළිබඳ නිර්මාණය කෙරී ඇති සුඛෝපභෝගීත්වය සහ ප්‍රභූත්වය උත්කර්ෂණය කෙරෙන මනෝරේඛය විසින් සඟවනු ලැබ ඇති මානයක් ඔබ අපගේ අවධානයට ගෙන එයි.

    බොරැල්ලේ වෝර්ඩ් පෙදෙසේ ගමන් කරන විට දකින සොඳුරුබව බොරැල්ලේ ම ලෙස්ලි රණගල මාවතේ ඈත ඇතුළට ගිය විට දැක ගත නොහැකි ය. රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ ගමන් කරන විට දකින සෞභාග්‍යවත් ශ්‍රියාව රජ‍ගිරියෙන් මඳ දුරක් ඔබේසේකරපුර දෙසට ගිය විට දැක ගත නොහැකි ය. බොරැල්ලේ කොටා පාරේ බොරැල්ල දෙසට වන්නට ඇති මහා මන්දිරවල ඇති තේජස කොටා පාරෙන් ගෝතමී පාරට හැරී ඈත ඇතුළට ගිය විට දැක ගත නොහැකි ය. එකී වෙනස්කම් විසින් පැවසෙන්නේ හුදු භෞතික පරිසරයේ වෙනස්කම් පමණක් නො වේ. එකී වෙනස්කම් විසින් සමාජ-ආර්ථික පරිසරයේ බරපතළ වෙනස්කම් ද ශෝකාකූල ගීයෙක ලා පැවසේ.

    ඔබ ඔබගේ ලිපියට පාදක කර ගන්නේ වර්තමානයේ දී ඔබට ප්‍රත්‍යක්‍ෂ ව අනුභූතික වූ සත්‍යයන් ය යි හඟිමි. මා මීට දශක දෙක තුනකට පෙර දැක ගත් තත්ත්වය ද ඔබ වර්තමානයේ පවසන තත්ත්වයට වඩා වැඩි වෙනසක් නැත. එසේ නම් පසුගිය සමයේ නගර සංවර්ධනය යනුවෙන් මහා ධනස්කන්ධයක් වැය කර සිදු කරනු ලැබ ඇත්තේ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග දෙපස ශෝභමාන කිරීම පමණක් ද යන සංශය ද ඇති වේ.

    අගනගරය සහ අගනගරයෙන් පිටත ඇති සම්පත් විෂමතාව සන්සන්දනය කිරීම ප්‍රමුඛ කතිකාව වී ඇති යුගයක අගනගරය තුළ ම, අගනගර සීමාවේ පර්යන්තයේ පවතින ගැටලු ද එම පරිසරවල දිවි ගෙවන මිනිසුන්ගේ දුක්ඛදෝමනස්සයන් ද අවධාරණයට යොමු කරමින් ඔබ ලියා ඇති ලිපි කීපය මම අගයමි. සම්පත් උපයෝජනයේ විෂමතාව නගරය සහ ගම අතර පවතින ගැටලුවක් පමණක් නො ව නගරය තුළ ද පවතින ගැටලුවකි. ප්‍රමුඛ කතිකාව විසින් අන්තඃනාගරික සමාජ-ආර්ථික විෂමතාවන් නො සලකා හැරීම ද සැලකිය යුතු ගැටලුවකි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete