Wednesday, November 30, 2016

නොකියාම ගිය සිත්තරා

 ක්‍රිස්ටියන් ගේමි

ඔහුගේ වීදී සිතුවමක්



අපි හිටියේ කොළඹ මැලේ වීදියේ නවා ෆිල්ම් හෝල් එක ඉදිරිපිට දොර ළඟ. ඈත අතීතයේ සති අන්තෙක පවුල් පිටින් චිත්‍රපටියක් නරඹන්න මෙතැනින් ඇතුළට ගිය ප්‍රමාණය කෙළවරක් නැතිව ඇති. එහෙත් දැන් හෝල් එකේ ඉදිරිපස කොටස බෝතල් පත්තර එකතු කරන පිරිසකට බදු දීලා. හෝල් එක වහලා ඇතුල්වෙන දොරටුවත්, ටිකට් කවුන්ටර්, ඉස්සර මිනිස්සු පෝලිම් ගැහුණු තැන් සහ කැන්ටින් එක ඇතුළු ඉදිරිපස කොටස තමයි බදුදීලා තියෙන්නේ.




නවා ශාලාවේ ඉහළ ඇඳ තිබුණු චිත්‍රයක් දකින්නයි අපි ගියේ. ඒ චිත්‍රයට පහළින් දාදු කැටයක් වගේ හැඩයක් ඇතුළේ ක්‍215 කියලා ලියලා තියෙනවා ඒ තමයි සලකුණ. ඒ සලකුණේ හිමිකාරයා ඇත්තටම ලංකාව ඇතුළට ඇවිත් මේක ඇන්දාද? නැත්නම් ඔහු ගැන දන්නා වෙන කවුරු හරි ඇන්ද චිත්‍රයකට ඔහුගේ සලකුණ එකතු කළාද? කුතුහලයෙන් යුතුව නවා හෝල් එකට ඇතුල්වෙන තැන කුලියට අරගෙන බෝතල් පත්තර එකතුකරන තැනක් බවට පත්කරලා තියාගෙන ඉන්න මොහොමඞ් අයියාගෙන් අපි විමසුවේ උඩ පූසාගේ චිත්‍රය ඇන්දේ කවුද කියලා






‘අපි දන්නෙ නැහැ. දැනගන්න ඕනෑකමක් තිබුණෙත් නැහැ. ඔය පූසාගේ වැදගත්කමක් තියෙනවා කියලාත් අපි හිතලාවත් නැහැ. මොකක්ද කාරණේ.’

අපි පත්තරෙන් බවත් මේ පූසාට පහළින් ගහලා තියෙන සී215 සලකුණ ක්‍රිස්ටියන් ගේමි නම් ලෝක ප්‍රසිද්ධ වීදි චිත්‍රකරුවාගේ බවත් කීවා
.
“අපි නම් එහෙම එකක් දන්නේ නැහැ. ඕක සුද්දෙක් ඇන්දා කියලා අපි දැනගත්තේත් නෝනා කිව්වාට පස්සේ.”

ඔහුගෙන් හෝඩුවාවක් නොලැබුණු තැන අපට උදව්වට ආවේ අන්තර්ජාලය. ගූග්ල් සර්ච් එකකින් පසුව අපට සී215 ලංකාවට පැමිණ ඇති බවත් ඔහු විසින් අඳින ලද වීදි චිත්‍ර ගැනත් යන්තමින් අවබෝධයක් ලැබුණා. ඒ අනුව අපි වීදි චිත්‍ර හොයාගෙන ගියේ ඒවා ඉතිරි වී තියෙනවාදැයි බලන්න.








වීදි චිත්‍ර කලාව








ග්‍රැෆිටි කියන්නේ බිත්තියක් මත අඳින යමක්. අකුරක් හෝ දැන්වීමක් හෝ චිත්‍රයක් හෝ විය හැකියි. කැටයමක් හෝ සායම්වලින් අඳින ලද්දක් විය හැකියි. ඊජිප්තු යුගයටත් එහා සිට ග්‍රැෆිටි කලාව පැවත එනවා. වර්තමානයේ ග්‍රැෆිටි දැන්වීම්කරණය වෙනුවෙන් සහ දේශපාලනික ප්‍රකාශනයන් වෙනුවෙන් වැඩි වශයෙන් පාවිච්චි වෙනවා. ලංකාවේ නම් බිත්ති මත යමක් අඳින්නේ කලාව වෙනුවෙන් නෙවෙයි වෙළෙඳ අරමුණක් වෙනුවෙන් බව පැහැදිලියි. නැත්නම් අපට රෝහල්වලත්, පාසල්වලත් දක්නට ලැබෙන සදාචාරවාදී චිත්‍ර හැරුණු කොට ලංකාවේ ග්‍රැෆිටි චිත්‍ර කලාව පැත්තෙන් අතිවිශාල හිඩැසක් තියෙනවා

.
ලෝකයේ ග්‍රැෆිටි කලාව ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් විදියට පාවිච්චි වෙනවා. ලන්ඩන් සහ පැරිස් වගේ සම්භාව්‍ය නගරවල විතරක් නෙවෙයි, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ වැනි ලුම්පන් මිනිස්සු ඉන්න නගරවලත් වීදි චිත්‍ර දකින්න ලැබෙනවා.




රියෝ වැනි නගරවල දුප්පත්කමට එරෙහි සටනේ ප්‍රධානම දේශපාලන මාධ්‍යයක් ලෙස වීදි චිත්‍ර පාවිච්චි වෙනවා. ලන්ඩන්, පැරිස් වැනි නගරවල වීදි චිත්‍රවල අලංකාරය විඳින්නම සංචාරකයන් ඒ රටවලට පැමිණෙනවා.




ලංකාවේ නම් චිත්‍ර දේශපාලනිකව යොදාගන්නේ දේශපාලන කාටූන් සඳහා පමණයි. වීදිය නම් මහා කැන්වසය ලංකාවේ චිත්‍ර ශිල්පීන්ට පෙනෙන්නේ නැහැ.

ලෝකයේ ග්‍රැෆිටි හරහා ජනප්‍රිය වුණු පුද්ගලයන් බොහොමයක් ඉන්නවා. බැන්ස්කි, ලේඩි පින්ක්, ෂෙපර්ඞ් ෆෙයරි, ඩොන්ඩි වැනි පුද්ගලයන් වීදිවල ග්‍රැෆිටි අඳින සහ ඇන්ද දැවැන්තයෝ. ඒ අතරින් බැන්ස්කි තමයි හොඳම ග්‍රැෆිටි ශිල්පියා ලෙස වැඩි විචාරකයන් පිරිසකගේ ගෞරවයට ලක්වෙලා තියෙන්නේ. ඔව්, ඒ අදහස අභියෝගයට ලක්වූ අවස්ථාත් තියෙනවා.




අපි කතා කරන්න සූදානම් වන්නේ සී215 කියන ශිල්පියා ගැනයි. ඔහු ග්‍රැෆිටි ලෝකයේ වේගයෙන් ඉහළට එන ශිල්පියෙක්. අනිත් ග්‍රැෆිටි ශිල්පීන්ගෙන් වෙන්ව තනිව ඉන්න කැමති කෙනෙක්. ඔහු අඳින්නේ ස්ටෙන්සිල් නම් උපක්‍රමය යොදාගනිමින්. ස්ටෙන්සිල් කියන්නේ කාඞ්බෝඞ් හෝ වෙනත් තුනී පුවරුවක් මත චිත්‍රයේ සැකිල්ල කපාගෙන ඒ මතට වර්ණ එකතුකරලා අඳින චිත්‍රවලට.




ක්‍රිස්ටියන් ගේමි








ක්‍රිස්ටියන් ගේමි හෙවත් සී215 කියන්නේ ප්‍රංශයෙන් බැන්ස්කිට පිළිතුරක් ලෙස බිහිවූ වීදි චිත්‍රකරුවා යැයි ඇතැම් විචාරකයන් හඳුන්වන ශිල්පියා. සී215 කියන්නේ ඔහු කලාවේදී පාවිච්චි කරන නාමය.




ක්‍රිස්ටියන් ගේමි අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ ග්‍රැෆිටි ඇන්ද කෙනෙක්. ඔහු ස්ටෙන්සිල් මාධ්‍යයට යොමුවුණේ 2006 ඉඳන්. ලෝකයේ අවධානය යොමුවී ප්‍රංශ බැන්ස්කි ලෙස ඔහුව හඳුන්වන්න පටන්ගත්තේ ස්ටෙන්සිල් මාධ්‍යයෙන් ඔහු පාන්නට පටන්ගත් විස්කම් නිසායි.




ඔහු බොහෝවිට මිනිසුන්ගේ හෝ පූසන්ගේ මුහුණු අඳින්නට ප්‍රිය කරනවා. ඔහු බිත්තියක අඳිනකොට සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රමාණයට, එනම් පුංචියට අඳින්න කැමතියි. බොහෝ ග්‍රැෆිටි කලාකරුවන් විශාල බිත්ති වැහෙන්නට වීදි චිත්‍ර අඳිනවා. විශාල ගොඩනැඟිලිවල දොඹකර යොදාගනිමින් අඳිනවා. එහෙත් ඔහු අඳින්නේ පුංචියට. “මිනිස්සු පාරේ යනකොට මගේ චිත්‍රය බලන්න කැමතියි නම් බලාවි. නැත්නම් ගණන් ගන්නේ නැතිව ඒ නිර්මාණය පහුකරගෙන යාවි. ලොකුවට ඇන්දාම අපේ නිර්මාණය බලහත්කාරයෙන් පෙන්වීමක් වෙනවා.” ක්‍රිස්ටියන් එහෙම කියනවා.




“බිත්තියක ඇඳීම කලාගාරයක තියන්නට අඳිනවා වගේ නෙවෙයි. බිත්තියක අඳින චිත්‍රය දුර්වර්ණ වෙනවා, විනාශ වෙනවා, කවුරුන් හෝ ඒ මතින් තීන්ත ගාන්න ඉඩ තියෙනවා. ඒක සදාකාලික නැහැ.”




ඔහු බිත්ති මත චිත්‍ර අඳින්නේ ඒවා විනාශ වෙන නිසයි. ක්‍රිස්ටියන් එන්නේ එවන් චිත්‍ර අඳින්නන්ගේ පාරාදීසයකින්. එනම් පැරීසියෙන්. බාසිලෝනා, ඇම්ස්ටර්ඩෑම්, ඔස්ලෝ, මොරොක්කෝවේ නගර කිහිපයක, රෝමය වගේ ලෝකයේ රටවල් රැසක ගිහින් ස්ටෙන්සිල් 5000කට ළංවෙන ප්‍රමාණයක් චිත්‍ර ඇඳ තිබුණත් ඔහු වඩා ප්‍රිය කරන්නේ පැරිස් වීදිවල චිත්‍ර අඳින්නයි.




ගේමි පොදු මහපාරේ ස්ටෙන්සිල් ඇන්දත් ඔහු චිත්‍රයක් කරන්නේ තමන්ගේ අතිශය පෞද්ගලික ප්‍රකාශනයක් සඳහා.
“මම අඳින්නේ මගේම පෞද්ගලික බයක් නැතිකර ගන්නයි. මගේ හිතේ ඉන්න භූතයන්ව පලවා හරින්නයි.” තමන් ගොඩක් දේශපාලනික හාදයෙක් නොවන බව ඔහු කියනවා.




වෝක්ෂෝල් ස්ටී්‍රට්








ලංකාවට පැමිණි ඔහු ප්‍රධාන වශයෙන් ඩෝසන්, වෝක්ෂෝල්, මැලේ ඇතුළු වීදි කිහිපයකත් කොම්පඤ්ඤ වීදියේත් ස්ටෙන්සිල් ඇඳ තියෙනවා. නවා ශාලාව තුළත් චිත්‍ර විශාල ප්‍රමාණයක් සී215 ඇඳලා තියෙනවා. ලංකාවේ වෙනත් ප්‍රදේශ කිහිපයකත් චිත්‍ර ඇඳලා තිබුණත් සී215ගේ සංචාරය පිළිබඳව ප්‍රමාණවත් තරම් මූලාශ්‍ර නැති නිසා ඔහු වෙනත් ප්‍රදේශවල ඇන්ද ස්ටෙන්සිල් දැකීමේ ආසාවක් තිබුණත් අපට දකින්න ලැබුණේ උඩ කිව්ව තැන්වල තිබුණු චිත්‍ර කිහිපය විතරයි. ඒ චිත්‍ර අපට දකින්න ලැබුණේත් කඩිසරව අපි එක්ක දුව ඇවිදිමින් අපට චිත්‍ර පෙන්වූ සංජීව නම් තරුණයාගේ උදව් හින්දා.




ඒ ස්ටෙන්සිල්වලින් බහුතරය දැනටමත් විනාශ වෙලා. ඉතිරි වී තිබුණු කිහිපය දැක්ක අපට හිතුණේ මේ චිත්‍ර ටිකත් තව ටික කාලයක් තුළ නැතිවෙලා යාවි කියලායි. තවමත් තරුණ සී215 අනාගතයේ කලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙද්දී ඔහු ලංකාවේ ඉතිරි කළ මතකයන් සම්පූර්ණයෙන් වැළලිලා යාවි.

වෝක්ෂෝල් වීදිය අසළ නිවාසවල ජීවත්වෙන කිහිපදෙනෙකුගේ නිවෙස්වල තිබුණු චිත්‍ර නිවැසියන් විසින්ම මකාදාලා. ඒ චිත්‍ර උඩින් තීන්ත ගාලා. තමන්ගේ බිත්තියේ තියෙන චිත්‍රය තව අවුරුදු දහයකින් කෞතුකමය වටිනාකමකින් යුතුවන බව ඔවුන්ට කිසිම අදහසක් නැහැ. අප සමඟ ඉන් එක් නිවසක සිටි කාංචනා කතාබහ කළා.




“ඒ මහත්තයා චිත්‍රය ඇඳලා කිව්වේ අපට තෑගි ලැබෙයි කියලා. කවුරුත් ආවෙත් නැහැ. අපට තෑගි ලැබුණේත් නැහැ. ඉතින් අපි එක අවුරුද්දක් තීන්ත ගානකොට ඒක පරෙස්සම් කරලා ගෑවා. අනිත් අවුරුද්දේ ඒක උඩින් තින්ත ගාලා දැම්මා.” බොහොම සැහැල්ලුවෙන් කාංචනා කියනවා.

ක්‍රිස්ටියන් ස්ටෙන්සිල් අඳිනකොට ඔහු පසුපසින් ගියපු රම්සි නම් තරුණයෙක් අපට මුණගැහුණා. ඔහු ක්‍රිස්ටියන් සමඟ හිටියත් ඔහු ගැන කිසිම ගැන විස්තරයක් මතක තබාගන්න බැරිවෙලා.




“මිනිහා ජර්මන්කාරයෙක්.” අපි විස්තර අහද්දී ඔහු කීවේ මතකය අවුස්සන්න අලස උත්සාහයක යෙදෙමින්. වැදගත් යමක් රම්සිගෙන් දැනගන්න ලැබුණේ නැහැ.
සී215 ලංකාවේ සිටියදී ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් ගන්නට එක් රූපවාහිනී නාලිකාවක් උත්සාහ කර තිබුණත් මාධ්‍ය එක්ක කතා කරන්නට සී215 කැමති වුණේ නැති බව රම්සි කීවා. කිසිවක් මතක නොතිබුණත් චිත්‍ර අඳින්නට ලංකාවට පැමිණි සුද්දා අතිදක්ෂයෙක් බව රම්සිගේ මතකයේ තදින් ඇඳී තිබුණා.

මැලේ වීදියේ කෝවිල අසළ ඇඳ තිබුණු එක් චිත්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණේ ඒ මත ඡන්ද නගර සභාවේ ඡන්දය වෙනුවෙන් ඇලවූ ඡන්ද පෝස්ටරයක් තිබුණු හින්දා. නගර සභාවට පත්වෙන දේශපාලනඥයන් විසින් ඒ චිත්‍ර ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් විසින්ම ඒවා විනාශ කරලා.




වෝක්ෂෝල් වීදියේ වත්තට ඇතුළු වෙන තැන තිබුණු චිත්‍රයක් වැහෙන්නට කවුරුන් හෝ පිඟන් ගඩොල් තියලා. ඉන් එහා පැත්තේ ප්‍රසිද්ධ දේශපාලනඥයන් දෙන්නෙක් පෝස්ටරයක හිනැහෙනවා. එතැනින් එහා පැත්තේ තවත් චිත්‍රයක් මැකී යන්නට නියමිතයි. එතැනට එහා පැත්තේ බිත්ති පිරෙන්නට අලුතින්ම ලියපු කුණුහරුප රුවන් වැකි රැසක් තියෙනවා. කෙල්ලෙක් ඕනෑ නම් මේ නම්බරයට කතා කරන්න, කොල්ලෙක් ඕනෑ නම් මේ නම්බරයට කතාකරන්න ආදි වශයෙන් අභිමානවත් යැයි කියන සංස්කෘතිය ඉස්මතු වෙන විදියට අපේ අය විසින් ඇඳපු ග්‍රැෆිටි ඒ චිත්‍රයට එහා පැත්තේ බිත්තිය පිරෙන්නම තිබුණා.




අපි පැය ගණනාවක් තිස්සේ සී215 ගැන හෝඩුවාවක් හොයාගන්නට වෙහෙස වුණා. එහෙත් අපට හමුවුණේ රම්සිගේ අත්දැකීම් විතරයි. ඔහු දන්නේ 2014 සැප්තැම්බරයේ සී215 ලංකාවට ආ බවත් දවස් දෙකක් ඇතුළත තමන් එක්ක ගිහින් කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව චිත්‍ර ඇන්ද බවත් විතරයි. රම්සි කී සමහර ප්‍රදේශවල චිත්‍ර හොයාගන්නට අපි ලොකු මහන්සියක් දැරුවත් ඒවා හොයාගන්න පවා බැරිවුණා. ඒවා ගැන මතකයක් තිබුණු අය පවා නැහැ.
ඇත්තටම ඔහුගේ නිර්මාණ ගැන විස්තර කීමට වඩා ඒවා නැරඹීමම හොඳයි.




ලංකාවේ බිහිවෙන කෙළවරක් නැති කලාකරුවන්ට වීදිය පෙනෙනවා නම් අපිරිසිදු වීදියක් චිත්‍රයකින් ලස්සන කරන්නට සිතුණා නම් ඒ චිත්‍ර හැමදාම දකින මිනිසුන්ගේ විඩා බර ජීවිතවලට දිය බිඳක් ඉස්සා වගේ වෙන්නට තිබුණා.

අනෙක් අතට ග්‍රැෆිටි කියන්නේ ආදායම් ඉපැයීමේ මාර්ගයක්. සංචාරකයන්ගේ ආකර්ෂණය වීදි චිත්‍රවලට නොමඳව ලැබෙනවා. මෙගාපොලිස් වැනි විශාල ව්‍යාපෘති ගැන සිහින දකින ආණ්ඩුවකට ඒ නගරවල කලාත්මකභාවය ගැන කල්පනා කරන්න හිතෙනවා නම් එය වැදගත්.

දේශපාලනිකව ග්‍රැෆිටි යොදාගන්නේ කෙසේද යන්න ගැන තවත් වැඩියෙන් ලංකාවේ දේශපාලන සංවිධාන සහ චිත්‍ර ශිල්පීන් කල්පනා කළ යුතු බව කොම්පඤ්ඤවීදියේ සිට විහාරමහාදේවිය අසල චිත්‍ර තබාගෙන සිටින කලාකරුවන්වත් පසු කරගෙන යළි එන අතරේ අපි කල්පනා කළා




ඔහු ත්‍රිරෝද රථයක ඇඳි චිත්‍රයක්






එදා 


අද

එදා



එදා

අද

එදා


අද

එදා

අද




අද



එදා
අද

1 comment:

  1. මේ බ්ලොගය සින්ඩිකේටරවලට එකතු කරන්න

    ReplyDelete