Tuesday, November 29, 2016

රියාද් කාන්තාරයේ සිකුරාදාවන්





සවුදි අරාබියේ රියාද්. ලංකාවේ අපටනම් රියාද් කියන්නේ භීෂණයේ පුරවරයක්. අපි හඳුනන්නේ සවුදි අරාබියට ගොස් ගල්ගසා මරන්නට නියම වුණ කාන්තාවන් ගැන. ඇඟට ඇණ බැස්සවූ කාන්තාවන් ගැන. මරව මරවා වැටුප් නොදී වැඩගන්නා නපුරු හාම්පුතුන් ගැන.

එහෙත් සවුදියේ වසර පහක් සිටි ලියුම්කාරියට සවුදියේදී ගල්ගසා මැරීමකට නියම වෙන්න වුණේ නැහැ. කිසිවෙක් ඇණ බැස්සුවේ නැහැ. රියාද් නගරයට ලියුම්කාරිය ආදරය කළා.



ජුමා.


ඒ කියන්නේ සිකුරාදා. සවුදියට විතරක් නෙවෙයි අරාබි රටවල් ගොඩක සිකුරාදාව කියන්නේ සතියේ හොඳම දවස. ජුමා දවසේ නිවාඩු හින්දා තමයි හොඳම දවස වෙන්නේ. සවුදියේ වැඩ කරන දින හයක් තියෙනවා. හත්වැනි දවස හෙවත් නිවාඩු දවස තමයි සිකුරාදා. සතිය අවසාන වෙන්නේ නිවාඩු සිකුරාදාවකින්.
සිකුරාදාවේ එකොළහමාර වෙද්දී පිටරටවලින් ආපු අන්‍යාගමිකයො හැර මුළු රියාද් නගරයේම පිරිමි ටික පල්ලියට දුවගෙන යන්නේ දොළහට පල්ලියේ යාඥා කළයුතු හින්දා. එක විතර වෙද්දී ගෙවල්වලට යන මේ අයගෙන් බහුතරය කළු ලෝගු පටලවාගෙන තද අව්වේ ඒසී වාහන පැදගෙන යන්නේ ෂොපින් කරන්න සහ දිවා ආහාරය ගන්න. දරුවන් වගේම බිරින්දෑවරුන් වැඩකාරයන් එක්ක මේ ධනවත් පවුල් නිදහස් වරුවක් ගතකරන්න එළියට යනවා. ඇත්ත. ලංකාවේ කෙනෙක්ට අනුව ලෝගු පළඳවාගෙන කාන්තාරයක යන මේ ගමන නිදහසක් විදියට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔවුන් ඒ ජීවිතය ගැන තෘප්තිමත් බව පෙනෙනවා. කිසිවෙක් කියන්නේ නැහැ ලෝගු දාගෙන මොන නිදහසක්ද කියලා.


අබාය


රියාද් නගරයේදී මුස්ලිම් කාන්තාවන් පළඳින ලෝගුවට කියන්නේ අබාය කියායි. ලියුම්කාරියටත් මේ අබායක් හෙවත් බුර්කාවක් පළඳින්න සිදුවුණා. මුහුණ වසාගෙන ඉඳීම පළමුවැනි දවසේ දරාගන්න බැරිතරම් අමාරු වුණත් කල් යද්දී ඒකට හුරුවුණා. පිටතින් බලාගෙන ඉන්න අය හිතන තරම් අබාය ඇඳගෙන සිටීම අපහසු නැහැ. අබාය කළු ලෝගුවක් වුණත් මේ ලෝගුවෙන් කරන විලාසිතාවනුත් නැතිවා නෙවෙයි.
ලියුම්කාරිය වැඩකළේ ‘මෙඩිකා‘ නම් ආයතනයට අයත් කාන්තා රූපලාවණ්‍යාගාරයක. මෙඩිකා කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍ර යේ වෛද්‍ය පහසුකම් සපයන ආයතනයක්. ප්ලාස්ටික් සැත්කම්, කොණ්ඩය වවන සැත්කම් ඇතුලු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය පහසුකම් මේ ආයතනය සැපයනවා. රියාද්හි ධනවත් පවුල්වල කාන්තාවන් වගේම රජපවුලේ ඇතැම් කාන්තාවන්ද ලස්සන වෙන්නට මෙඩිකා වෙත පැමිණියා. ප්‍රසිද්ධියේ අබායා පැළැඳ මුහුණ වසාගත්තත් රියාද්හි ධනවත් කාන්තාවන් විශාල වශයෙන් තමන්ගේ පෙනුම ලස්සන කරගන්නට මේ වගේ තැන්වලට එනවා. කාන්තා රූපලාවණ්‍යාගාර වලට එන්න පිරිමි අයට තහනම්. රියාද් වලත් තියෙන අරාබි සංස්කෘතියට අනුව කාන්තාවන් සහ පිරිමින් ඉන්නේ වෙන වෙනමයි. පවුල එකතුවෙන අවස්ථාවකදී හැරෙන්නට කාන්තාවන් වෙනමත් පිරිමි අය වෙනමත් එකතු වෙන්නේ.
මේ අය එකතුවෙන්නේ කේමා වල. හැම නිවසකම පිරිමි අයට එකතුවෙන්න වෙනම කේමා සහ ගැහැණු අයට එකතුවෙන්න වෙනම කේමා තියෙනවා. කේමා කියන්නේ පුංචි සාලයක් වගේ තැනක්. එක් නිවසක කේමා දෙක බැගින් තියෙනවා.


සිකුරාදාවන්


ඉහත කීවා වගේ බොහෝ අය සිකුරාදාව පවුල් සමඟ ෂොපින් මෝල්, උද්‍යාන, කාන්තාරයේ වැලි විතරක් තියෙන ප්‍රදේශ වගේ තැන්වලට යනවා. තරුණ පිරිමි දරුවන් නම් පවුල්වල අය එක්ක යන්නේ නැහැ. ෆුට්බෝල් සෙල්ලම් කරන්නට, කාර් ඩ්‍රිෆ්ටින් කරන්නට තරුණ පිරිමි දරුවන් එකතුවෙනවා. ගැහැණු ළමයින්ට නම් එහෙම එක්වෙන්න අවස්ථාවක් නැහැ. ඒ අය පවුල එක්ක ඉන්නවා.

මම  වැඩකළ රූපලාවණ්‍යාගාරයේ තැන ප්‍රධානියා කාන්තාවක්. ඇගේ නම රෝස් අබුරාෂිඩ්. රෝස් අප සමඟ ගණුදෙනු කළේ මිතුරියක් වගෙයි. බොහොම හිතවත් මිතුරියක් වගෙයි. ලංකාවේ බහුතරය හිතාගෙන සිටින ආකාරයේ පාලිකාවක් නොවෙයි ඇය. ඔහුගේ සැමියා අබුරාෂිඩ් මහතාත් ඒ වගේමයි. මේ යුවලට දරුවන් හතරදෙනෙක් සිටිනවා. ඔවුන්ද අප සමඟ ඉතා මිතුරුයි. ඔවුන් ජෝර්දාන් ජාතිකයන්. සවුදි අරාබි ජාතිකයන් මෙන් නොවෙයි. ඒ අයගේ සංස්කෘතික නීති මඳක් ලිහිල්.
සවුදි ජාතිකයන් වර්ග දෙකක් ඉන්නවා. එක් පිරිසක් බදෝවි. බදෝවි කියන්න පහත් යැයි සලකන ජනවර්ගයක්. බදෝවි අය තමයි සතුන් ඇතිකරන්නේ. මස් කර්මාන්තය කරන්නේ ඔවුන්. අනිත් පිරිස ඉහළ කුලයේ සවුදි ජාතිකයන්. ඒ අය රජයේ සහ පෞද්ගලික ආයතනවල නිලතල දැරීමත් ව්‍යාපාර කටයුතු කිරීමත් කරනවා. රජවරුන්, සිටුවරුන් වැනි ඉහළ නාම සහිතව ඔවුන් වැජබෙනවා.

ජෝර්දානි, ලෙබනි, යේමනි, ඉන්දි, පකිස්තානි, සිර්ලංකි, මගරබි වැනි රටවල්වලින් පැමිණි ජනවර්ගත් සවුදියේ ඉන්නවා. ඒ අයගෙන් ඇතැමුන් ව්‍යාපාරිකයන්, ඇතැමුන් ශ්‍රමිකයන්.
අබුරාෂිඩ් පවුල ටිකක් විවෘත නිසා හැම සිකුරාදාවකම අබුරාෂිඩ් පවුලේ අයත් එක්ක එළියට යන්න අපට අවස්ථාව ලැබෙනවා.

මෝල් වල, පාක් වල සහ කාන්තාරයේ කූඩාරම් වලින් තැනූ කේමා වලත්, ස්තර්හා වලත් සිකුරාදාව ගතකරන්න පුළුවන්. ස්තර්හා කියන්නේ අරාබියේ හෝටල් වැනි කුලියට ගතහැකි ස්ථාන. හෝටලයකින් සපයන සේවාවන් වෙනුවට ස්තර්හා එකක ගොඩනැඟිල්ල විතරයි ලැබෙන්නේ. එහි උයාපිහාගනිමින් දවස ගතකිරීමයි කරන්නේ. නානතටාක, පිරිමි සහ කාන්තා කේමා, කුස්සියක්, පාපන්දු පිටියක් වගේ පහසුකම් ස්තර්හා එකක තියෙනවා.

එහෙම නැත්නම් කාන්තාරයේ වැලි ප්‍රදේශයකට ගිහින් කූඩාරම් වලින් කේමා හදාගන්නවා. ඒවා තුල ඉඳන් ආහාර ගන්නවා.


කෑම


ඉස්ලාම් ජාතිකයන් ආහාර වලට බොහෝ ආදරය කරනවා. ඉතාම රසවත් අනර්ඝ ආහාර ගන්න ඔවුන් කැමතියි. අළුත් රසයක් හොයා යන්න කැමතියි. ඒ නිසාම නිවාඩු දිනය ඔවුන්ට කෑම කමින් කතාකරන දිනයක්.


ෂ්වර්මා, ෆැලාෆිල්, හම්මූස්, ජිරීෂ් වගේ කෑම වර්ගත් බර්ගර් වර්ගත් ඔවුන් කන්න කැමතියි. මස් කහ සහ තුනපහ සමඟ තම්බා ආහාරයට ගන්න ඔවුන් කැමතියි. ඒ විතරක් නෙවෙයි ලෝකයේ හොඳම රසයන් හොයන්න කැමති ඔවුන් ඉන්දියන් කෑම කන්න විශේෂයෙන් කැමතියි. චීන කෑමවලටත් අරාබි ජාතිකයන් අතර ඉල්ලුමක් ති‍යෙනවා. ඉඳහිට අපි තනාදෙන ලංකාවේ කෑමක් කන්නත් අබුරාෂිඩ් පවුල කැමැත්තක් දැක්වුවා.

මේ කෑම අතරින් ලියුම්කාරිනයගේ සිත් ගත්තේ ෂ්වර්මා. ලංකාවේ ෂ්වර්මා තිබුණත් ඒවා රියාද් රසයට දශමයකින්වත් ළං වෙන්න බැහැ. රොටියකින් සිලින්ඩරාකාරව එතූ ග්‍රිල් කරගත් මස් වර්ග, මයොනීස් ක්‍රීම්, බැදපු අර්තාපල්, පිකල්ස් මිශ්‍රණයක් තමයි ෂ්වර්මා කියන්නේ. ලංකාවේ ඇවිදින අතරේ කෙතරම් ෂ්වර්මා සෙවුවත් මුණගැහෙන්නේත් නැහැ. එය අරාබි රටවල්වලින් ලංකාවට පැමිණි බොහෝ දෙනෙක්ට දැනෙන අඩුවක්. ඇත්තටම ෂ්වර්මා අහිමිවූවන්ගේ සංගමයක් තැනිය යුතුයි.


රියාද් පවුලක් පිටතට ගිහින් ලබන විවේකයේදී කරන්නේ බිම එලූ කාපට් එකක හිඳ හඬනඟා කතාකරමින් සිනහසීම පමණයි. මේ තොරතෝංචියක් නැති කතාබහ කරන්නේ ගහුවා බොමින් රටඉඳි කමින්. ගහුවා කියන්නේ කෝපි. වැඩකාරයන් සමඟ ළමයින්ව සෙල්ලම් කරන්න යොමු කරවනවා.
විවේකී දවසක චිත්‍රපටියක් බලන්න යන්නටවත් ලොකු සිනමා සංස්කෘතියක් රියාද් වල නැහැ. චිත්‍රපටියක් බැලුවත් ඒ හින්දි චිත්‍රපටියක් හෝ වෙනත් රටක සිනමාවකට අයත් චිත්‍රපටියක්. බොහෝ දෙනෙක් හින්දි සිංදු අහනවා. ඔවුන්ගේ කලාව කියන්නේ ආහාර. ආහාර කියන්නේ කලාවක්. ඉතින් නිවාඩු දිනය ආහාර වෙනුවෙන් වෙන් වෙනවා.
රියාද් නගරයේදී මං  ලැබූ අත්දැකීම් බොහෝයි. ලියා අවසන් කරන්නට බැරි තරම් අත්දැකීම් තියෙනවා.

සිකුරාදාව ඒ අතරන් විශේෂ අත්දැකීමක්. විශේෂයෙන් විවිධ භාෂාවන් කතාකරන මිතුරන් මුණගැහුණේ රියාද් වලදීයි. හින්දි, දෙමළ, පිලිපීන් වැනි භාෂා ඉගෙනගන්න ලැබුණේ රියාද් වලදීයි. කොළඹ නගරය වගේම රියාද් නගරයේත් අත්දැකීම් ගොඩක් තියෙනවා. රියාද් නගරයට බිය වූවන් මෙන්ම එයට ආදරය කරන්නන්ද ඉන්නවා.


සවුදිය අපායක්ද?


සවුදිය අපායක් යැයි හිතන අය ඉන්නවා. එහෙත් අපාය තියෙන්නේ මිනිසුන්ගේ ඔළුවලයි. ලංකාවේ මිනිසුන් එල්ලුම්ගහ නීතිගත කරන්න කියා ඉල්ලනවා. ගමක හොරෙක් අහුවුණොත් ගස්බැඳලා තිරිසන් විදියට පහරදෙනවා. බහුතර මිනිස්සුන්ට අනුව වැරැද්දක් කළා කියලා හිතන කෙනෙක්ට දරුණුම දඬුවම් දෙන්න ඕන කියලා කියන අය ලංකාවේත් ඉන්නවා.  ලෝකෙ හැමරටේම පිරිමි තමන්ගේ බිරිඳ මුළුඇඟම වහගෙන ඉන්නවා දකිනවාට කැමතියි. තමන්ගේ වහලෙක් වගේ ඉන්නවා දකින්න කැමතියි. සවුදිවල තියෙන්නේ මේ කැමැත්ත සංස්කෘතික නීතියක් විදියට ක්‍රියාත්මක වීමයි. අරාබි රටවල්වල නීති තද බව ඇත්ත. එහෙත් අරාබියේම ඉන්නවා ඉතා හොඳ හාම්පුතුනුත්. ඉතාම නරක හාම්පුතුනුත්. අරාබියේ ඉන්නවා ලෝකයේ නරකම මිනිස්සුත්. හොඳම මිනිස්සුත්. ලෝකයේ අනිත් හැම රටක්ම වගේ තමයි ඒ නිසාම සවුදියේ රියාද් අපාය වෙන්නත් පුළුවන් දිව්‍ය ලෝකය වෙන්නත් පුළුවන්.

දුවිලි කුණාටුවක් 












තමර් ( රට ඉඳි )

ෂොවර්මා


ෆැලාෆිල්

1 comment: