Thursday, November 17, 2016

ආදරයේ දම්වැල





කවදාවත් ජරීනා බේගම්ගේ ජීවිතය ලස්සන එකක් වුණේ නැහැ. ළමා කාලයේම ක්වාලාලම්පූර් නගරයේ දුම්රිය ස්ථානයක ජරීනාට ඇගේ දෙමාපියන් මඟහැරුණා. ඇගේ ළමාකාලයේ සිදුවෙච්ච කිසිදෙයක් ඇයට මතකයේ තිබුණෙත් නැහැ. තනිවුණු ජරීනා ජීවිතය පවත්වාගෙන යන්න ගොඩක් උත්සාහ කළා. අවුරුදු දොළහක් ගතවෙනකන් එහේමෙහේ ජීවත්වුණු ජරීනාව දන්නා අඳුනන අය එකතුවෙලා ස්මයිල් නම් තරුණයාට විවාහ කර දුන්නා.



ඇය පවුල් ජීවිතය ගැන කිසිදෙයක් දැනහිටියේ නැහැ. කාලය සාමකාමීව ගෙවීගියා. ඇය පාරවල් වල විඳපු දුක තරම් විවාහයේ දුක විශාල නොවුනා වෙන්නත් ඇති. එහෙම නොවෙන්නත් ඇති. ඇයට පුතෙක් ලැබෙන්නේත් ඔය කාලයේදී.

ඇය හිතුවේ ගෙවීගිය කාලය තමයි ඇගේ ජීවිතයේ ලස්සනම කාලය කියලා. ඒත් හදිසියේ ඇගේ දොළොස් හැවිරිදි පුතා මියගියා. ඉන්පස්සේ ඇගේ පවුල් ජීවිතය දෙදරා ගියා. ඇගේ සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා.





ටික කාලයක් යනකොට නැවත ඇය ගැබ්ගත්තා. ජරීනා හිතුවේ ඇයට නැතිවුණු හැමදේම නැවත ලැබේවි කියලා. ඇයට ඉපදුණේ දුවෙක්. දුවට තැබූ නම මාලි. ජරීනා හිතුවේ මාලි සුරංගනාවියක් කියලා. සාමාන්‍ය විදියට මාලි එක්ක ජීවත් වෙන්න ජරීනා උත්සාහ කළා. වැරැද්ද තිබුණේ ජරීනා අතේ නෙවෙයි. ජරීනාට දැකගන්න ලැබුණේ අවුරුදු දෙක් වන මාලිගේ මානසික මට්ටම සාමාන්‍ය තත්වයේ නැහැ කියලයි.


ඔය අතරතුර කාලයේ ජරීනාගේ සැමියා මියගියා. මත්ද්‍රව්‍ය වැඩිපුර ශරීරගත වීමකිනුයි ඔහු මියගියේ. අද වෙනතුරු ආබාධිත මාලි තමයි ජරීනාට ජීවත්වෙන්න එකම හේතුව.
දැන් ජරීනාට ඉන්නේ මාලි විතරයි. මාලිට අවුරුදු දහතුනක් වුණත් ඇය ක්‍රියාකරන්නේ කුඩා දරුවෙක් වගේ. ඇගේ මොළය වර්ධනය වෙලා තියෙන්නේ අඩුවෙන්. ජරීනා මාලිව දම්වැලකින් ගැටගහලා තමයි වැඩට යන්නේ. එයට හේතුව වුණේ මාලිව කලින් ගෙදර තියලා ගියාම ඇය දෙපාරක්ම අතුරුදන් වෙලා තිබීම. ඇගේම දෙමාපියන් අහිමි වුණ ජරීනාට මාලි අතුරුදන්වීම කියන්නේ නපුරු හීනයක් වගේ.


උදේට ජරීනා මාලිව ගැටගහලා වැඩට ගිහින් ඇගේ කඩිසරව රාජකාරිය කරලා මාලි ගැනම හිතමින් ඇය පාර පනින්නෙත් බොහොම පරෙස්සමෙන්. ඇය මියගියොත් මාලිව බලාගන්න කෙනෙක් නැහැ. වලාකුළු පිරුණු ඇස්වලින් ජරීනා කීවේ. ‘මම මාලිගේ කකුලේ දම්වැල් දැම්මේ මගේ පපුව උඩ ගලක් තියාගෙන.‘ කියලයි. ජරීනා එසේ කියන අතරේ මාලි ඇගේ පිජාමා කලිසම ඇයව හමුවන්නට ගොස් සිටි ඡායාරූප ශිල්පී ආකාශ් සිටි තැනම ගලවා මුත්‍රා කරන්න සූදානම් වුණා. ජරීනා දුවගෙන ගොස් දියණියව රෙද්දකින් ආවරණය කළා.



ජරීනා හීන දකිනවා දවසක මාලිට හොඳ වේවි කියලා. සමහර වෙලාවට ඇය ඒ ගැන හිතලාම කළකිරෙනවා. මාලිට අනිත් ගෑණු ළමයි වගේ වෙන්න පුළුවන්නම් ඇයට තිබුණා ජරීනාට උදව් වෙන්න. රැකියාවක් කරලා ජරීනාව ජීවත් කරවන්න. ඇයට තේරුම් ගන්න තිබුණා ජීවත් වෙන්න ජරීනා විඳින දුක ගැන. ඒත් මාලිට කිසිදෙයක් තේරුම් ගන්න පුලුවන් කමක් නැහැ. මාලිට දැනේනනේ ජරීනාගේ ආදරය විතරයි. ඇගේ සිනහව විතරයි. ජරීනාගේ කොණ්ඩය පීරන හැම වෙලාවෙම ඇය ජරීනාගේ කම්මුලකට හාදුවක් දෙනවා. ජරීනා ඇයට කවන වෙලාවට මාලි ජරීනාටත් බත්කටක් කවනවා.


වීදි මිනිස්සු වුණ ජරීනාටයි මාලිටයි කිසිම දේපලක් නැහැ. ගෙයක්වත් ලී බඩුවක් තියා උයාගන්න වළඳක්වත් නැහැ. තියෙන වළන් පිඟන් ටිකත් ජරිනා වැඩට යනකොට ළඟ ගෙදරක තියලයි යන්නේ. මාලි ඒවා කඩලා දාන නිසා.
ජරීනාට දැන් තියෙන්නේ එකම එක හීනයක්. ඒ මාලිට උගන්වන එක. ඇයට සාමාන්‍ය ජීවිතයක් ලබාදෙන එක. ජරීනා ඇගේ දියණියට පාට පැන්සල් කොළ කෑලි ගෙනත් දීලා ඇය කුරුටු ගානවා බලා සිටිනවා. ‘කාටහරි පුළුවන්නම් මගේ දුවව ආබාධිත පාසැලකට ඇතුල් කරලා හරි උගන්වන්න. මට පුළුවන් සැනසිල්ලේ මැරිලා යන්න. එහෙම බැරිනම් අපි වෙනුවෙන් යාඥා කරන්න. අම්මයි දුවයි දෙන්නාම එකපාර මැරිලා යන්නැයි පතන්න.‘ ජරීනා අවසානයේදී කීවේ එපමණයි.


#රාවය

1 comment: