Wednesday, January 4, 2017

අලුත් අවුරුද්දේවත් මිත්‍යාවෙන් මිදෙමුද?



රනිල් වික්‍රමසිංහ අසරණව තිරුපති කෝවිලේදී



දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැස්ස ඉල්ලා දෙවියන් යදින්නට පටන්ගෙන තිබේ. වර්ෂාව නැති නියං කාලයක් අහවරව වර්ෂාව ළංවූ විගස ජනාධිපතිවරා විසින් ජාතික මට්ටමෙන් යැදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබුණි. පිරිත් කියන්නටත් දේවාලවලට යන්නත් පටන්ගෙන තිබුණු ජනාධිපතිවරයා නත්තල් දින උත්සවයදී කතෝලික පූජකවරුන්ගෙන්ද වැස්ස ලැබෙන්නැයි පතන්නට ඉල්ලා තිබුණි. ඒ මදිවාට ඔහු පොළොන්නරුවේදී බෝධිපූජා සහ දේව කන්නලවු කිහිපයකට සහභාගී වී තිබුණි.

Sunday, January 1, 2017

අම්මා

 
ඡායාරූපය - සජිත් චානක

සවුදි අරාබියේ රියාද්හි මා ගතකළ කාලය අවුරුදු පහකි. රියාද් ලෝකයේ සිට මා ආශ්‍රය කලේ ආසියාවේ විවිධ රටවලින් පැමිණි මිතුරු මිතුරියන්වයි. පිලිපීන්, පාකිස්ථාන්, ඉන්දියා, බංග්ලාදේශ් වැනි විවිධ රටවලින් ආ අය තමන්ගේ ජීවිතය මා සමඟ බෙදා ගත්තෝය. එහෙත් මේ මිතුරියට තරම් සංවේදී කතාවක් කිසිවෙකුට තිබුණේ නැත. 

Thursday, December 8, 2016

අදෝ අන්ද පරවෙයි පෝල වාල වේන්ඩුම්! අර පරවියන් වගෙ අපිටත් පියාඹන්න පුලුවන් නම්!


 
අවුරුදු දාසයේ ජයලලිතා රජු එක්ක....  ‘අදෝ අන්ද පරවෙයි පෝල වාල වේන්ඩුම්‘



සියල්ලටම පෙර මේ ගීතය ඇසිය යුතුයි.... ඇයටත් ඔහුටත් වන්දනාමාන කරන්න හේතුවුණේ මේ අසීමිත රසයයි..... ඇයට දේශපාලනය තුළ සාර්ථකත්වයේ රහසක් තිබුණේ නැහැ. ඒක තිබුණේ මෙතැන. ජයලලිතා කියන්නේ ඩ්‍රාම එකක්. සිනමාවක්. 

පසුගිය සතියේ ලෝකයේම කතාබහට ලක්වුණේ කියුබාව නම් ලංකාවටත් වඩා පුංචි රටේ පාලකයා ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය. මේ සතියේ කලාපයේම පමණක් නොව ලෝකයේත් කතාබහට ලක්වෙන්නේ ලංකාවට සහ කියුබාවට වඩා විශාල ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස තමිල්නාඩුවේ ගෞරවය පාත්‍ර වූ ජයලලිතා ජයරාම්ගේ මරණය ගැනයි.

Wednesday, November 30, 2016

නොකියාම ගිය සිත්තරා

 ක්‍රිස්ටියන් ගේමි

ඔහුගේ වීදී සිතුවමක්



අපි හිටියේ කොළඹ මැලේ වීදියේ නවා ෆිල්ම් හෝල් එක ඉදිරිපිට දොර ළඟ. ඈත අතීතයේ සති අන්තෙක පවුල් පිටින් චිත්‍රපටියක් නරඹන්න මෙතැනින් ඇතුළට ගිය ප්‍රමාණය කෙළවරක් නැතිව ඇති. එහෙත් දැන් හෝල් එකේ ඉදිරිපස කොටස බෝතල් පත්තර එකතු කරන පිරිසකට බදු දීලා. හෝල් එක වහලා ඇතුල්වෙන දොරටුවත්, ටිකට් කවුන්ටර්, ඉස්සර මිනිස්සු පෝලිම් ගැහුණු තැන් සහ කැන්ටින් එක ඇතුළු ඉදිරිපස කොටස තමයි බදුදීලා තියෙන්නේ.




නවා ශාලාවේ ඉහළ ඇඳ තිබුණු චිත්‍රයක් දකින්නයි අපි ගියේ. ඒ චිත්‍රයට පහළින් දාදු කැටයක් වගේ හැඩයක් ඇතුළේ ක්‍215 කියලා ලියලා තියෙනවා ඒ තමයි සලකුණ. ඒ සලකුණේ හිමිකාරයා ඇත්තටම ලංකාව ඇතුළට ඇවිත් මේක ඇන්දාද? නැත්නම් ඔහු ගැන දන්නා වෙන කවුරු හරි ඇන්ද චිත්‍රයකට ඔහුගේ සලකුණ එකතු කළාද? කුතුහලයෙන් යුතුව නවා හෝල් එකට ඇතුල්වෙන තැන කුලියට අරගෙන බෝතල් පත්තර එකතුකරන තැනක් බවට පත්කරලා තියාගෙන ඉන්න මොහොමඞ් අයියාගෙන් අපි විමසුවේ උඩ පූසාගේ චිත්‍රය ඇන්දේ කවුද කියලා

Tuesday, November 29, 2016

රියාද් කාන්තාරයේ සිකුරාදාවන්





සවුදි අරාබියේ රියාද්. ලංකාවේ අපටනම් රියාද් කියන්නේ භීෂණයේ පුරවරයක්. අපි හඳුනන්නේ සවුදි අරාබියට ගොස් ගල්ගසා මරන්නට නියම වුණ කාන්තාවන් ගැන. ඇඟට ඇණ බැස්සවූ කාන්තාවන් ගැන. මරව මරවා වැටුප් නොදී වැඩගන්නා නපුරු හාම්පුතුන් ගැන.

එහෙත් සවුදියේ වසර පහක් සිටි ලියුම්කාරියට සවුදියේදී ගල්ගසා මැරීමකට නියම වෙන්න වුණේ නැහැ. කිසිවෙක් ඇණ බැස්සුවේ නැහැ. රියාද් නගරයට ලියුම්කාරිය ආදරය කළා.

Thursday, November 24, 2016

කුලියට ජීවිතයක් ඇත.





මෙහේ රාත්‍රිය ඇතුලෙ සජීවීව ජීවිතේ ති‍යෙනවා. මේ හඳ එළියෙන් පිරුණු රාත්‍රියක් ගැන නෙවෙයි කියන්න යන්නේ. අඳුර පලවා හරින්නට පාට පාට විදුලි බුබුළු උපයෝගි කරගන්න තැනක් ගැනයි මේ .ඔබට තියෙන්නේ හෙමිහිට අඩි  තියන්න විතරයි. පාර දෙපැත්තෙන් මහා සද්දෙට හින්දි සිංදු ඇසේවී. එහෙට මෙහෙට දුවන කෙල්ලන්ගේ ගිගිරි ශබ්ද ඇසේවි. ලාභ සුවඳ විලවුන් මුළු ප්‍රදේශයේම පැතිරිලා. දීලීර බැදිලා පුස් කාපු බිත්ති පුරාම භාගෙට ඇදුම් ඇඳගත්ත එක එක නිළියන්ගේ පොස්ටර් එල්ලලා.

Thursday, November 17, 2016

ආදරයේ දම්වැල





කවදාවත් ජරීනා බේගම්ගේ ජීවිතය ලස්සන එකක් වුණේ නැහැ. ළමා කාලයේම ක්වාලාලම්පූර් නගරයේ දුම්රිය ස්ථානයක ජරීනාට ඇගේ දෙමාපියන් මඟහැරුණා. ඇගේ ළමාකාලයේ සිදුවෙච්ච කිසිදෙයක් ඇයට මතකයේ තිබුණෙත් නැහැ. තනිවුණු ජරීනා ජීවිතය පවත්වාගෙන යන්න ගොඩක් උත්සාහ කළා. අවුරුදු දොළහක් ගතවෙනකන් එහේමෙහේ ජීවත්වුණු ජරීනාව දන්නා අඳුනන අය එකතුවෙලා ස්මයිල් නම් තරුණයාට විවාහ කර දුන්නා.



ඇය පවුල් ජීවිතය ගැන කිසිදෙයක් දැනහිටියේ නැහැ. කාලය සාමකාමීව ගෙවීගියා. ඇය පාරවල් වල විඳපු දුක තරම් විවාහයේ දුක විශාල නොවුනා වෙන්නත් ඇති. එහෙම නොවෙන්නත් ඇති. ඇයට පුතෙක් ලැබෙන්නේත් ඔය කාලයේදී.

ඇය හිතුවේ ගෙවීගිය කාලය තමයි ඇගේ ජීවිතයේ ලස්සනම කාලය කියලා. ඒත් හදිසියේ ඇගේ දොළොස් හැවිරිදි පුතා මියගියා. ඉන්පස්සේ ඇගේ පවුල් ජීවිතය දෙදරා ගියා. ඇගේ සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා.





ටික කාලයක් යනකොට නැවත ඇය ගැබ්ගත්තා. ජරීනා හිතුවේ ඇයට නැතිවුණු හැමදේම නැවත ලැබේවි කියලා. ඇයට ඉපදුණේ දුවෙක්. දුවට තැබූ නම මාලි. ජරීනා හිතුවේ මාලි සුරංගනාවියක් කියලා. සාමාන්‍ය විදියට මාලි එක්ක ජීවත් වෙන්න ජරීනා උත්සාහ කළා. වැරැද්ද තිබුණේ ජරීනා අතේ නෙවෙයි. ජරීනාට දැකගන්න ලැබුණේ අවුරුදු දෙක් වන මාලිගේ මානසික මට්ටම සාමාන්‍ය තත්වයේ නැහැ කියලයි.


ඔය අතරතුර කාලයේ ජරීනාගේ සැමියා මියගියා. මත්ද්‍රව්‍ය වැඩිපුර ශරීරගත වීමකිනුයි ඔහු මියගියේ. අද වෙනතුරු ආබාධිත මාලි තමයි ජරීනාට ජීවත්වෙන්න එකම හේතුව.
දැන් ජරීනාට ඉන්නේ මාලි විතරයි. මාලිට අවුරුදු දහතුනක් වුණත් ඇය ක්‍රියාකරන්නේ කුඩා දරුවෙක් වගේ. ඇගේ මොළය වර්ධනය වෙලා තියෙන්නේ අඩුවෙන්. ජරීනා මාලිව දම්වැලකින් ගැටගහලා තමයි වැඩට යන්නේ. එයට හේතුව වුණේ මාලිව කලින් ගෙදර තියලා ගියාම ඇය දෙපාරක්ම අතුරුදන් වෙලා තිබීම. ඇගේම දෙමාපියන් අහිමි වුණ ජරීනාට මාලි අතුරුදන්වීම කියන්නේ නපුරු හීනයක් වගේ.


උදේට ජරීනා මාලිව ගැටගහලා වැඩට ගිහින් ඇගේ කඩිසරව රාජකාරිය කරලා මාලි ගැනම හිතමින් ඇය පාර පනින්නෙත් බොහොම පරෙස්සමෙන්. ඇය මියගියොත් මාලිව බලාගන්න කෙනෙක් නැහැ. වලාකුළු පිරුණු ඇස්වලින් ජරීනා කීවේ. ‘මම මාලිගේ කකුලේ දම්වැල් දැම්මේ මගේ පපුව උඩ ගලක් තියාගෙන.‘ කියලයි. ජරීනා එසේ කියන අතරේ මාලි ඇගේ පිජාමා කලිසම ඇයව හමුවන්නට ගොස් සිටි ඡායාරූප ශිල්පී ආකාශ් සිටි තැනම ගලවා මුත්‍රා කරන්න සූදානම් වුණා. ජරීනා දුවගෙන ගොස් දියණියව රෙද්දකින් ආවරණය කළා.



ජරීනා හීන දකිනවා දවසක මාලිට හොඳ වේවි කියලා. සමහර වෙලාවට ඇය ඒ ගැන හිතලාම කළකිරෙනවා. මාලිට අනිත් ගෑණු ළමයි වගේ වෙන්න පුළුවන්නම් ඇයට තිබුණා ජරීනාට උදව් වෙන්න. රැකියාවක් කරලා ජරීනාව ජීවත් කරවන්න. ඇයට තේරුම් ගන්න තිබුණා ජීවත් වෙන්න ජරීනා විඳින දුක ගැන. ඒත් මාලිට කිසිදෙයක් තේරුම් ගන්න පුලුවන් කමක් නැහැ. මාලිට දැනේනනේ ජරීනාගේ ආදරය විතරයි. ඇගේ සිනහව විතරයි. ජරීනාගේ කොණ්ඩය පීරන හැම වෙලාවෙම ඇය ජරීනාගේ කම්මුලකට හාදුවක් දෙනවා. ජරීනා ඇයට කවන වෙලාවට මාලි ජරීනාටත් බත්කටක් කවනවා.


වීදි මිනිස්සු වුණ ජරීනාටයි මාලිටයි කිසිම දේපලක් නැහැ. ගෙයක්වත් ලී බඩුවක් තියා උයාගන්න වළඳක්වත් නැහැ. තියෙන වළන් පිඟන් ටිකත් ජරිනා වැඩට යනකොට ළඟ ගෙදරක තියලයි යන්නේ. මාලි ඒවා කඩලා දාන නිසා.
ජරීනාට දැන් තියෙන්නේ එකම එක හීනයක්. ඒ මාලිට උගන්වන එක. ඇයට සාමාන්‍ය ජීවිතයක් ලබාදෙන එක. ජරීනා ඇගේ දියණියට පාට පැන්සල් කොළ කෑලි ගෙනත් දීලා ඇය කුරුටු ගානවා බලා සිටිනවා. ‘කාටහරි පුළුවන්නම් මගේ දුවව ආබාධිත පාසැලකට ඇතුල් කරලා හරි උගන්වන්න. මට පුළුවන් සැනසිල්ලේ මැරිලා යන්න. එහෙම බැරිනම් අපි වෙනුවෙන් යාඥා කරන්න. අම්මයි දුවයි දෙන්නාම එකපාර මැරිලා යන්නැයි පතන්න.‘ ජරීනා අවසානයේදී කීවේ එපමණයි.


#රාවය